Follow by Email

Saturday, May 20, 2017

කුණු කඳු තුනී කරන හැටි

කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.


හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි වන්නේය. ඒ වුනාට අපේ ගෙදරිං කෑම කුණු හැටියට විසි කරන්නේ නැත.


හැන්දේ නොපිටිං තද කර මහා මැටිකෝප්පයක් පුරවා දෙන තාත්තාගේ බත් පිඟානත්, අනික් අයගේ බත් පිඟන්වලත් තියෙන කෑම වලින් බාගයක් විතර අපිට කාගන්නට බැරුව ඉතුරු වන්නේය. ඒ වෙලාවට අපි කරන්නේ මිදුලට බැස මෙලෙස කෑ ගැසීමයි.


"බිංදු ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්.... කලුව ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්"


විනාඩියක් යන්න කලිං බිංදුවාත්, කලුවාත්, බන්ටියාත් නගුටු වනමින් අපේ මිදුලට කඩාපාත් වන්නේය. එවිට ගෙයි ඉතිරුව ඇති හොදි මාලුපිනි ඇත්නං ඒවාද ඉතුරු කෑම පංගුවටම දමා අනා තුන්දෙනාට කොලපත් කෑලි තුනකට දමා දෙන බත් පංගු තුන විගසින් අතුරුදහන් වන්නේය. සමහර වෙලාවට බිංදුවා, කලුවා, බන්ටියා, හංකඩයා ආදී සියලු දෙනාම දුර ගමනක් ගිහිං ඇතිවිට හෝ කා වැටීම සඳහා වෙනත් බලු වැයික්කියකට  ගිහිං ඇති විටක අපි ඉතුරු වුනු කෑම සියල්ල අනා පිලිකන්නේ ගල උඩ විසාල බත්පතක් ගොඩගසන්නෙමු. එවිට කපුටෝද, දෙමලිච්චෝද, බට්ටිච්චෝද, ලේන්නුද, ආදී ගස් උඩ යන හැම සතෙක්ම ඇවිත් එයිං බඩ පුරවා ගන්නේය. එතනිං යන ගමං ලේනෙක්, දෙමලිච්චෙක් අල්ලාගන්නට එන සම්බෝල පූසාද, කං බාගයක් නැති පූසාද, ඉබාගාතේ යන තලගොයාද එයිම්ම බඩ පුරවා ගන්නේය. බිංදුවා හම්බුවෙන්නට අපේ ගෙදරට එන වෙනත් බලු නගුටෝද බින්දුවා නැති තැන ආගන්තුක සත්කාරයක් වශයෙං එතනිං බත්කටක් කා යන්නේය. ඒ හංදා අපි කාලා ඉතුරු වන කෑම වේලක් පැය දෙක තුනක් යද්දී අවසන් වන්නේය.


වළඳේ අඩියේ ඉතුරුවන් දංකුඩ ටික ගොඩ සතුන් කන්නේ නැත. ඒ හංදා අම්මා වලං ටික හෝදන්න දොලට ගෙනගිය විට වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරා දොලේ ගල්වැටියෙං පහලට දාන්නේ මාලුන්ට කන්නටය. කොස් දෙල් ආදිය උනත් ඒ විදිහය. බල්ලන්ට ඉඦෝ කිව්වා මෙන් මාළුන්ට වෙනිං යමක් කියා අඬගහන්නට උවමනා නැත. වතුරට මොකක් වැටුනත් ඒක වටේ රැස්වී ඒක කන්නට පුළුවන්දැයි බැලීම මාළුංගේ සිරිතය. තිත්තයෝ ඇරුණම ගල්පාඬින්ට නං අපේ කකුලක් උනත් මෙලෙකට අහුවුනොත් කෑලි කඩං කන්නේය. කන්න පුලුවං දෙයක් නං බඩ පිරෙනකං ඒක ගිල දැමීමටත්, කන්න බැරි දෙයක්නම් "මේක මොන මගුලක්දැ"යි කියා පුප්පාගෙන යන්නටත් මාලුන්ගේ දෙමව්පියෝ උන්ට උගන්වා ඇත. අන්තිමට ගෙදර බත් හැලියත් හොදි හැලියත් කුණුවන්නට ඉතුරු වන්නේ නැත.


කඩෙන් ගේන ඇඟිලි විස්කෝතු, බුල්ටෝ, බබානයිස්, ටොපි, ආදී කැවිලි නං ඉතුරු වෙන්නේම නැත. ඒ වුනත් අපේ නැන්දා පාංපිටිවලට කුරහං පිටි ඇඹින්දක් කලවං කර සීනි කළඳක් තරම් මුහු කර කැන්ද කොලේ ඔතා හැලප ලෙස වෙස් ගන්නා තම්බා එවන පාප්ප ගුලි, සීනි පිට්ටු ලෙස වෙස්ගන්වා එවන යන්තම් පැණි රහ හාල් පිටි ගොඩවල්, වැනි සමහර “බලු හත්බල්ලෙකුට  (dog 7 dog) කන්න බැරි“ කෑම ජාති බිංදුවාගේ හතුරෙක්ටවත් දෙන්නේ නැත. ඒවාගේ වෙලාවට එව්වා ඔතා ඇති කඩදහිය විතරක් හතරට නමා කුස්සියේ බට පැලැල්ලේ රඳවන අපි ඒ කෑම ජාතිය සාමාන්‍ය වේගයෙන් හෙලපල්ලට විසිකරමු. එවිට ඒ පිටිගුලිය හෙලපල්ලේ තේ පේලි දෙක තුනක් පසුකරගෙන ගොස් “සාස්“ කියා ගස් අතරට වැටෙන්නේය.


ඉඳ හිට ගෙදරට ලැබෙන ඉස්කෝතු පෙට්ටියක් ආදී දුර්ලභ කෑමක් නං බොහෝ වෙලාවට ඉතුරුවෙන්නේ නැත. හැබැයි මැලිබන් ලෙමන් පප් එකේ නං මැද ක්‍රීම් ටික හූරාගෙන කා දෙපැත්තෙ පියං දෙක බල්ලට දාන්නෙමු. මේ කොයිකත් දමා තියෙන සොපිං කවරේ බට පැලැල්ලටත්, ඔතා තියෙන බවුම්පේපර් කවරෙ මේසෙ කොලේ යටටත් එයිට අස්සෙං තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ආයිමත් බට පැලැල්ලටත් දමා ඉතුරු ඉටි කවර කෑලි ටික සුබ මොහොතින් ලිපට දාන්නෙමු. එයිනුත් ඉස්කෝතු අහුරා තියෙන ඉටි අච්චුව අරගෙන තියාගන්නේ ඒකේ ඉස්කෝතු අහුරා තිබූ කුහර අස්සේ එව්වා මෙව්වා (මෙතනට අයිති වන්නේ මංචාඩි ඇට, පාට කෑලි, පැන්සල් කොට, පාරෙං අහුලං එන ඇන, පරණ සතේ දෙකේ කාසි, බොත්තං, ඉඳිකටු, හැට්ටකටු, මකන කෑලි, ඉටිපංදං කොට, පාරෙ වැටිල තියෙන සමහර අරුමෝසං කෑලි, හූනු බිත්තර පැකැට්ටෙකේ තියෙන හමුදාකාරයො, කුරුල්ලෝ, වාහන වගේ ඉටි සෙල්ලම් බඩු වගේ ජාතිය) අහුරලා මේසෙ උඩිං තියන්න පුළුවං හිංදාය. මාසෙකට සැරයක් ගේන කිරි පෙට්ටියේ ඇතුලෙ තියෙන ඉටිකවරේ අපේ තාත්තාට පොරෝජං වන්නේ බුලත්විට කන ජාති දැමීමටය. බුලත් කොල හතරක් පහකුත්, දුංකල ඉරු බාගෙකුත්, සිද්දාලේප කුප්පියකට පුරෝපු හුණු ටිකකුත් හතරට පැලූ පුවක් ගෙඩි දෙකක් විතරත් දැමූ වරුවකට සෑහෙන විට සලාකයක් වැස්සට නොතෙමී තියාගන්නට මේ කවරෙට පුළුවංය. කිරි පෙට්ටියෙං පත්තරවලිං කපාගත් පිංතූර අලවා හදාගන්නා පිංතූර රෝලක් දාන ටීවියෙකක් හදාගන්නටත් එහෙමත් නැත්තං පියසේන මාමා වෙසක්කෙකට හදනා වර්ගයේ කුප්පි ලාම්පුවෙං වැඩකරන තොරණක් හදාගන්නටත් පුළුවන.


ගෙදරිං අයිං කෙරෙන බැට්ටි කෑලි, කැඩිච්ච පනා, හිල් වෙච්ච හෝ පැලිච්ච බාජන, කැඩිච්ච ටෝච්, ආදී ගෙදර පාවිච්චියෙං අයිං කෙරෙන එක බඩුවක්වත් අහක යන්නේ නැත. අපි එව්වා සේරම අපේ සෙල්ලං ගෙවල්වලට ගන්නෙමු. ටෝච් එකේ මැද බටේ විතරක් තිබුනොත් ඒකෙන් අපිට ටෝච් එකේ සිට සෙල්ලං කෝච්චියක ඉස්සරහ ලයිට්ටෙක දක්වා ඕනෑම එකක් මවාගන්නට පුළුවන. අඩිය හිල්වෙච්ච බාජනේක උනත් සෙල්ලං බත යසට ඉදෙන්නේය. මේ බඩු නැතිවෙන්නේ තවත් කලක් ගිහිං බල්ලන් උස්සාගෙන යාමෙං හෝ අම්මා මිදුල අතුගානකොට


"ගේ වටේටම ගුබ්බෑයං අටෝල අතුගාන්න විදිහක් නෑ. මොන අටමංගල්ලද මංද මෙව්ව අස්සෙ"


කියා අපේ විලාප මැද්දේ අසරණ සෙල්ලං ගෙවල් බවුන්ඩේසම පිටිං මුලිං උදුරා හෙලපල්ලට විසිකිරීමෙන්ය. ඔය විදිහට ගෙදරි අයිං කෙරෙන සේරම බඩුමුට්ටු කාලයක් ගිහිං සෙල්ලං ගේ හරහා හෙලපල්ලට විසි වෙන්නේය. ඒවායෙනුත් සමහර රෝල් වෙන්නට උපං හපංකං ඇති බැට්ටි කෑලි වගේ ඒවා හෙලපල්ලත් පහුකරගෙන රත්නෙ බාප්පගේ කුඹුරටම යන්නේය. රත්නෙ බාප්පා ඊළඟ පාර කුඹුර පුරං කොටද්දී "ටං" කියා උදැල්ලේ වදින්නේ ඒවාය. කුස්සියෙං එදිනෙදා අහක්වෙන ජාතිත් යන්නේ මේ පාරෙං හෙලපල්ලටමය. මේ හිංදා අපේ ගෙදර හෙලපල්ලේ තියෙන තේ ගස්වලට මාස හය හතකට පාරක් පෝර දැම්මාම ඇතිය.


අපේ දෙවෙනි පුංචම්මා නං කිසිම දෙයක් අහක දාන්නේ නැත. ගෙදරට ගේන පත්තරයේ පටං කාඩ්බෝඩ් පෙට්ටි, ඉටිකවර ආදී හැමදේම එක පිලිවෙලකට එක්කහු කර මිටි බඳින්නේය. කිරිපිටි පෙට්ටි, විස්කෝතු කවර, ටොපි කොල, සිකරැට් ඊයං කොල, තෑගි ඔතන කොල ආදී පුදුමාකාර එකතුවක් ඒ ගෙදර ඇත්තේය. තව කාගේ හෝ ගෙදරකට පත්තර පලුවක ඔතා හෝ කවරෙක දමා මොනවා හෝ යවන්නේ නම් ඒ පත්තර පලුව හෝ කවරේ ගේන්නට හැතැක්ම බාගෙ හමාර ගෙවාගෙන පුංචම්මා ඒ ගෙදරට යන්නේය. බීම මූඩි, බීම බට, ටොපි කොල, ආදී ඒවායිං හැදූ එක එක සුකුරුත්තං ඒ ගෙදර සාලේ බිත්තිවල දකින්නට පුළුවන. ගෙදරින් කැඩී බිඳී අයිංවෙන විදුරු, බාජන ආදියටත් කොල කෑලි, පීන්තූර, පබුලු ආදිය අලවා අමුතුම ආකාරයේ ඇටවුම් හදා "ලස්සනට" සාලේ කැබිනට්, ටීපෝ ආදිය උඩ තියන්නට පුංචම්මා දක්සය. උන්දෑට එව්වාට මග පෙන්වන්නේ සිරිකත පත්තරෙන්ය. අපේ අතක් පයක් ඒ ගෙදර ටීපෝවක, කබඩ්ඩෙහෙක වැදුනොත් පෙරලෙන්නට මාන බලාගෙන ඉන්නා ඒ "අලංකාර" ද්‍රව්‍ය නිසා අපි ඒ ගෙදරට ඇතුල්වෙන්නේ ඉස්කෝලේ පින්සිබල්ගේ ඔපිස්සෙකට යන්නා හා සමානව පුදුමාකාර බයකින්ය. බැරිවෙලාවත් අපේ අතක් පයක් වැදී එයිං අලංකාර වස්තු දුසිමක්වත් බිම වැටී කැඩී ගියොත් පුංචම්මා සතියක පමණ ශෝක කාලයක් පවත්වමින් දෙවෙනි වරටත් කැඩී ගිය ඒ බඩුමුට්ටු වෙනුවෙං අඬා දොඩා වැලපෙන්නේය. ඉං පස්සේ ඒ දෙවෙනි මට්ටමේ සුංබුං ගොඩෙං කලින් තිවුනාටත් වඩා 'අලංකාර' වගේම හුළඟටත් 'පෙරලෙන සුලු' ලස්සන ජාති හදන්නේය. ඒ හංදා පුංචම්මා පවුලක් පන්සලක් උනායින් පස්සේ ගෙදරට ගෙනා වීදුරු බඩු සේරම තවමත් ගෙදර තියෙන්නේය.


අපේ ගෙදර වීදුරු බඩුවක් බිඳුනොත් ඒක අස් කරනකං ඉන්න බැරුව ඒක උඩිං එහා මෙහා යන්න ගිහිං කකුල කපාගන්නවා ඇරෙන්නට වෙනිං වැඩක් ගන්නට බැරිය. ඒ වගේ වෙලාවට ඉතුරු වෙච්ච ලොකුම කෑල්ල උඩට අනික් වීදුරු කටු ටිකත් පුරවා ඒ සේරම ගිහිං දමන්නේ වැසිකිලිවලටය. අපේ ගෙදර තිවුනේ වල වැසිකිලියක් හිංදා මේ වැඩේ ලේසිය. පෝච්චි වැසිකිලි තියෙන ගෙවල්වල වීදුරු කටු වැසිකිලියේ වලට  දාන්නට බැරි හංදා වැසිකිලියේ වහලෙ උඩ එව්වා ගොඩ ගහන්නේය.


අපේ ගමේ කුණු ප්‍රතිචක්‍රීයකරණයට උදව්වෙන්නේ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. පුස්ප නැන්දා උන්හිටිගමන් මොන්ටිසෝරියේ ළමයින්ට නියෝග නිකුත් කරන්නේය.


"හෙට එනකොට එක්කෙනා බීම බට තුනකුයි පාට පාට ටොපි කොල විස්සකුයි ගේන්න ඕනි. තේරුණාද?"


ඒ වගේ වෙලාවට ළමයි සේරම


"ඔවූඌ"


කියන්නේය.


එදා හවසට මුළු ගමම එකම ජංජාලයක්ය. සමහර දෙමව්පියෝ බීම බට විස්සකුත් ටොපි කොල තුනකුයි හොයන විට තවත් සමහරු ටොපි කොල විතරක් හොයන්නේය. තව කොටසක් හොයන්නේ බීම බට විතරය. ළමයිංගේ ගනං මතක තියාගැනීම එහෙමය. ඒ කාලේ බීම බෝතලයක් බොනකොට බීම බටයක් දෙනවා ඇරෙන්නට පැකට් පිටිං විකුණන්නට බීම බට කඩවල්වල තිබුනේ නැත. කඩේක බීම බෝතලයක් විකිනෙන්නේ සතියකට හමාරකට සැරයක් හිංදා කඩ මිදුලේ බීම බටයක් දෙකකට වැඩියෙං තියෙන්නට විදිහක් නැත. ඒ හංදා බීම බට හොයන අය කඩේ මිදුලේ හොයා බලා බීම බට නැති වුනොත් මිදුල අතුගා කොලගොඩවල් ගිහිං දාන හෙලපල්ලට වෙනකම්ම යන්නේය. එතන කොලගොඩවල් හාරගෙන අවුස්සං කන රත්නෙ බාප්පගේ කුකුල් රංචුවත් කලුකුං ජෝඩුවත් "ෂෝ" කියා එළවා දමා කොල ගොඩවල් අවුස්ස අවුස්සා බීම බට හොයන්නේය. බීම බට විස්සක් හොයන ළමයාගේ අම්මා එතනට කඩා වැදුනොත් අනික් අයට ඉතුරුවක් වෙන්නේම නැත. සමහරු එතන පොලව පාදා හාරා බලන්නේ මැතිනිගෙ කාලෙ බීම බටයක්වත් තියේදැයි බලන්නටය. සමහර වෙලාවට අපේ ආච්චම්මා හෝඩුවාවල් දෙන්නේය.


"ගිය සුමානෙ මහතුල්ලෑ ගෙදෙට්ට බීම්බෝතලෙයක් ගිනිච්චා. ආං එහෙ ගියොත් සමහර විට ඒක ඉල්ලගත්තැහැකි."


ආච්චි අම්මාගේ ඔත්තුවට ළමයිංගේ අම්මලා දුසිං ගානක් මහතුං මාමලගෙ ගෙදර යන්නේ එක බීම බටයක් ඉල්ලා ගන්නටය. ඒ වෙනකොට ඒක කලිං ආපු කෙනෙක් ඩැහැගෙන ගිහිං ඉවරය. මේ හංදා ළමයිංගේ අම්මලා නිකගොඩ හංදියේ දරුමසේන මාමගේ කඩේ පටං එගොඩහ ගොඩේ කරුණාවතී ඉස්කෝලෙ හාමිනේගේ කඩේ දක්වාම යන්නේ බීම බට එක්කහු කරන්නටය. සමහර අම්මලා රුපියල් තුනක් වියදං කරගෙන ටවුමට යන්නේ ටවුමේ කඩවල් ඉස්සරහ තියෙන බීම බට අහුලං එන්නටය. වැඩි වෙලාවක් යන්නට පෙර හදිසියේ සිහිමුර්ජා වෙච්ච ලෙඩෙක්ට බෙහෙතක් හදන්නටවත් ටොපි කොලයක් අහල ගං හතක නැති වන්නේය. කොහෙං හෝ හොයාගන්නා මේ බීම බටත්, ටොපි කොලත් මොන්ටිසෝරියට ගෙනගිය විට ඒ ටොපි කොල රැලි හිටින්නට නැමී තුනටියටත් පොඩි බීම බට කෑල්ලක් පලන්දාගෙන දෙකොන විහිදාගෙන නූලක එල්ලෙන්නේය. ඒවා සමනල්ලු බව පොඩි ළමයින්ට තේරුං කරන්නට පුස්ප නැංදාට සිද්දවෙන අතර ඒ ළමයිනුත් තමුංගේ අත්කම් නිර්මාණය ගෙදර අයට පෙන්වා එව්වා සමනල්ලු බව හය හතර නොදත් දෙමව්පියන්ට තේරුං කරන්නේය.


ඒ විදිහටම සමහර කාලවලදී නොයෙක් රූප, කාඩ්බෝඩ් පෙට්ටි, ආදී කඩදහි ජාතිද ගේන්නටද පුස්ප නැංදා කියන්නේය. එතකොට අපිත් එක්ක වැඩි කතාබහක් නැති අයත් අපේ ගෙදරට ඇවිත් චාටුවට කතා කර අපේ අම්මා බට පැලැල්ලේ පතුරු අතරේ හිරකරගෙන තියෙන කාඩ්බෝඩ් පෙට්ටි ඩැහැගෙන යන්නේය. මොන්ටිසෝරියට වේලාපු පොල් කුඩු ඕනෑ කී විට හොද්දට කිරි ටික මිරිකනකං බලා ඉඳලා පොල් රොඩු ටික ගෙනියන්නට අම්මලා එන්නේය.


මේ විදිහටම තව කෙනෙක් ප්‍රතිචක්‍රීකරණයට හවුල් වන්නේය. ඒ අවුරුද්දකට විතර සැරයක් පෝර කවරයක් අරගෙන එන තවත් මනුස්සයෙකි. එයා


"පරණ බෝතල්, ඇල්මේනියං එහෙම තියෙනවද"


කියා බොහොම සද්දෙට අහන්නේය. ගෙදර පිරිමියෙක් නොහිටියොත් බලෙම්ම වගේ තියෙන දෙයක් අරගෙන යන්නේය. අපේ ආච්චම්මාත් (මේ කියන්නේ තාත්තගෙ අම්මාය) මාත් හිටි දවසක එහෙම කඩා පැන්න මිනිහෙක්


"මොන රෙද්දකට මෙව්ව ගොඩගහං ඉන්නවද. ගේ වටේම සර්පයි බෝවෙනව. අනික්ගමන කාපිනං වෙදකමේ යන්න වෙනව."


කියා අපිටත් බැණ අඬගසා අපේ පිලිකන්නේ තිවුණු වීදුරු බෝතල් සේරමත් කවරෙට දමාගෙන ආච්චම්මා වැසිකිලියට ගෙනියන ඇල්මේනියං කෝප්පෙත් පයිං පාගා තලා ඒ කවරෙටම දාගෙන ආච්චම්මාට රුපියල් එකයි හැත්ත පහක් දීලා ගියේ "මෙතන වැඩියත් එක්ක තියෙනවා" කියාගෙනය. ඒ මනුස්සයාම කරුණෙ මාමලගෙ පිලිකන්නේ තිවුණු බෝතල් ගොඩත් අරගෙන ගිහිං තිබුණේ ඒ අස්සේ හංගා තිබූ කසිප්පු ඉස්පීට් බෝතලෙත් එක්කමය.


පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කුණු ගොඩවල් හිංදා රටේ ඇතිවුුනු කුණු ගොඩවල් දැක්කම හිතුනේ හැම ගෙදරකටම හෙලපල්ලක් වගේම සෙල්ලං ගෙයකුත් තියෙන්නට ඕනෑ බවය. සෙනසුරාදා ඉරිදා පන්ති නවත්තා ළමයි සෙල්ලං ගෙවල්වලට යොමුකරනවා වගේම සතියේ දවස්වල බඩේ අමාරු, දතේ අමාරු හැදී ගෙදර නවතින ළමයින්ටත් එදා දවසේ ඒ සෙල්ලං ගෙවල්වල සෙල්ලං කරන්න පුළුවං බව දෙමව්පියෝ අවබෝධ කරගන්නටත් ඕනාය. ඒ වගේම අපේ පුංචම්මා වගේ කැඩෙන බිඳෙන බඩුමුට්ටු ගේ ඇතුලෙම තියාගෙන ඉන්නට එව්වා නොයෙක් විදිහෙන් වෙස්ගන්වා "ලස්සනට තියන බඩු" බවට පත්කරන්නට පුළුවං ඇස්බැන්දුංකාරියන් තව වැඩිකරන්නටත් ඕනෑය. ඒ අතරම ගෙවල් මණ්ඩියට හත් අට දෙනෙක්ගෙන් යුතු බලු රංචුවක්, බලල් නරි කීප දෙනෙක් වගේම තලගොයි කීප දෙනෙකුත් ඇතිකරන්නටත් කටයුතු කරන්නට ඕනෑය. පුස්ප නැංදාගේ මොන්ටිසෝරිය වගේ පොල් කුඩු, තේ රොඩු, ටොපි කොළ, බීම බට, සිකරැට් කොට ආදී හැම දේකින්ම අත්කම් හදන්නට පුළුවං මොන්ටිසෝරි ඇති කරන්නට ඕනෑය. ගෙවල්වල උයන පිහන වලං, ඇතිලි, තාච්චි ආදිය හෝදන්නට සබං කොම්පැණිවල අනුග්‍රහයෙං තොටුපලවල් ඇති කර එව්වායේ මාලුද ඇති කරන්නට පුළුවන. එතකොට කඳුගහන්නට කුණක් ඉතුරු වන්නේ නැත.

Saturday, May 13, 2017

දානේ....

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.

දානේ පටං ගන්නේ 

“අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“

කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං

“හා“ 

කියනවා. මේ වැඩේට ගැලපෙන දවස ඉරිදා. ඒ හංදා ඉරිදාට කලිං අවශ්‍ය දාන කලමනා ගෙනැත් තියාගන්න ඕනෑ. ඒ හංදා චූටි මැණිකේගෙ ප්‍රධානත්වයෙන් කුස්සියෙ පැවැත්වෙන සාකච්ඡාවෙන් මෙහෙම කියවෙනව.

“හාල් ගෙනාපුව තියෙනවනෙ. අර බාගෙට තම්බපු හාල් ජාතිය තාම ඉඳුල් කෙරුවෙ නෑනෙ. ඒක ගත්තැකි. එතකොට අර කංකුං මිටියත් තියෙනව පිජ්ජෙකේ. ඒක ඉන්න බලන්න පොඩ්ඩක්............................. ඔය ඉතිං සූකිරී කකුල අරෙහෙට ගන්නකො මට මේ කංකුං මිටිය තියෙද බලන්න දොර අරින්න. ඔන්න මං දන්නෑ නැට්ටහුවෙයි. මොකද්ද සුදු නෝනා මේ ඔයාගෙ ළමය කරන වැඩ.......... මට මෙලව දෙයක් කරගන්න දෙන්නෑ....නේ.....  ආ මේ තියෙන්නෙ. ඒක හොඳයි. කෝ අහකට වෙන්න දොර වහන්න. අනේ ඕකෙ ඔයාට බලන්න දෙයක් නෑ සූ....කිරී... හරි එතකොට පොල්තෙල් තමයි වැඩේ. පොල්තෙල් කාලක්වත් නෑ. පොල්තෙල්නං ගේන්න වෙනව. එහෙනං අපි බත්තුයල, පපඩං බැදල, පරිප්පු තෙලට හදල, අල බැදල, ආ... තවෝන්නං මිරිසුත් බැදල. මේ කංකුං මිටියත් බැදල මේ... පිලී ජාති ඔලට සැමන්නෙකක් ගේමු. අර චීන සැමන්නෙක නං හරිනෑ. ඒව මේ අපේ සූකිරි කන්නෙත් නෑ, සුදු නෝන කන්නෙත් නෑ. ඒ ටික හදල දෙමු නේද? ඇතිනෙ. ඔන්න මං කිව්ව වෙනස් කරන්න තියෙනං කියන්න“

මං එතකොට ‘හා එහෙම හොඳා‘ කියනවා. ඊට පස්සෙ ඕක දෙන්නටම අමතක වෙලා යනව. ආයිමත් මතක් වෙන්නෙ සෙනසුරාදා හවස හතරට විතර.

“මේ.. ඇහුනද? ඈ... ඕකම ඔබ ඔබා ඉන්නෙ ඔය පෝන්නෙක මං දැං හංගනව කොට්ටෙයට. මේ අහන්නකො. හෙට දානෙයක් දෙමු කියල කතාඋනා නේද? බඩු ගේන්නැද්ද?“

අන්න එතකොට මං උඩ විසිවෙලා ඇහැරෙනව.

“අප්පට සිරි.“

“මට හොඳ වෙලාවට මතක්කුනේ. එහෙනං දැම්ම ගිහිං බඩුටික අරං එන්න. තම්බියෑ කඩෙං ඇරං එන්න. ඒකෙ ගානාඩුයි. ඉන්න මං තුණ්ඩුවක් ලියා දෙන්න“

ඒ තුණ්ඩුවත් අරං ටවුමට ගිහිං බයිසිකලේ කොහේ හරි ඉඩ ඇති තැනක නවත්තල ‘අසුවල් පුපර් මාට්‘ එකට ගිහිං බඩුටික ගන්නව. ආං එතකොට කෝල් එකක් එනව.

“අනේ මට ඔය කුණ්ඩුවෙ ලියන්න බැරි උනා. කුන්දු මිටියකුත් ගේන්න. සැමන්නොලට කුන්දු දාන්නෝන.“

එතකොට මං ආයිමත් “හා“ කියල කුරුඳු මිටියක් සාක්කුවට දාගෙන පෝන්නෙක බඩු කූඩෙට දානව. ඊළඟට පපඩං පැකට් එක එක ජාතිය අතට අරං ඒ එක එක ජාතියෙ පපඩං රවුං කීයක් තියෙනවද කියල කවරෙට පිටිං ගනං කරකර ඉන්නකොට ආයිමත් ඔන්න පෝන්නෙක වදිනව.

අවිඤ්ඤානිකව සාක්කුවට අතදාල පෝන්නෙක එලියට ගන්න බැලුවට සාක්කුවෙ තියෙන්නෙ ඉටිකවරයක්. එලියට ඇදල ගත්තම කුරුඳු පොතු පැකට්ටක. එතකොට කොහෙද බොලේ පෝන්නෙක කියල හොයද්දි ඒක කූඩෙ ඇතුලෙ පරිප්පු කවරෙට යටවෙලා හුස්ම හිරවෙලා. ඒක අස්සෙ ඉඳං එඩ්වඩ් මායා කෑ ගහනව.

“අතිකනා හම්මේකිට්මයාට්...නීක්කි නිකිනිං නිකිනිං නිකිනිං නාක්“

ආන්න එතකොට මං කුරුඳු පැකට්ටෙක කූඩෙට දාලා කූඩෙං පෝන්නෙක අතට අරං “හලෝ“ කියනව.

“අනේ මේ.. ඔයා ගාව දානෙට වෙංකරපු සල්ලි ඇර තව සල්ලි තියෙද“

ඒකට “ඔව්“ කිව්වහම

“අනේ එහෙනං එනගමං පාං ගෙඩ්ඩක් ගේන්නකො. සූකිරිටයි සුදුනෝනටයි බනිස් ගෙඩ්ඩකුත් ගේන්න හොන්ද“

ඒකටත් “හා“ කියල පෝන්නෙක සාක්කුවට දාගන්නව. මෙතනිං ගන්න බඩු ටික අරගෙන ඊළගට බේකරියට ගිහිං පානුයි බනිසුයි අරගෙන සිරිපාලගෙ කඩේ ලගිං පුස්තකාල පාරට හැරෙනකොටම අදුරන කවුරු හරි හම්බුවෙනව.

“ආ.. සුරාමාතය කොහෙද මේ අතිං කටිං එල්ලගෙන“

“ආ.. නෑ.. මේ බඩු ඩිංගක් ඇරං යන්නාව තිලකෙ. අද මොකක් වැඩේ?“

“මොකොවහ් නෑ ඉතිං. ඔය පොඩි පොඩි මොනව හරි තමා“

ආං එහෙම කයිවාරුවක් ගහගෙන ඉදල 

“මයියන්නං තිලකෙ“

කියල එන්න එනකොට එයා

“හෙල්මට්ටෙක අතේ මොකෝ. කෝ බයිසියලේ?“

කියල අහනව. ආං එතකොට මට මතක් වෙනව බයිසිකලේනෙ ආවෙ කියල. ඉං පස්සෙ ආපහු ගිහිං බසාර්රෙක දිගේ පහලට ගිහං දෙතුං පාරක් පහල වීදියෙ එහාට මෙහාට ඇවිද්දහම අලුත්ම ඩොල්පින් වෑන් එකකුයි කෝටියක් විතර වටින, යංතං හීරුනත් පේන තරමෙ දිලිසෙන කාර් එකකුයි අතරෙ ගැවෙන නොගෑවෙන තරමිං අඩි එකහමාරක විතර පලල තීරුවක හිරවෙලා ඉන්න බයිසිකලේ හොයාගන්න පුලුවං. ඉං පස්සෙ තියෙන්නෙ අර රටක් වටින වාහන දෙකේ බයිසිකලේවත්, බඩු මලු දෙකවත් නොගෑවෙන්න බොහොම වැර වෑයමෙං පරිස්සමෙං මිලි මීටරෙං මිලි මීටරේට හතර වටේ බල බලා බයිසිකලේ එතනිං එලියට ගන්න එක. කපීර් යානාවකට වඩා ආරක්ෂක උපක්‍රම හයිකරල තියෙන ඔය වාහනේකට වෙනිං වාහනේක හුස්ම වැදුනත් අර වාරියපොල ලමිස්සි වගේ සයිරන් එක ගහනව නෙවැ. විනාඩි දහයක් විතර මහන්සි වෙලා ඒ මර උගුලෙං බයිසිකලේ එලියට ගත්ත ගමං අර දෙපැත්තෙම තිවුණ රටක් වටින වාහන දෙකමත් යන්න යනව. ආං එතකොට මොහිදීන් බෙග් මාස්ටර් කියන සිංදුවක් මතක් වෙනව. 

“එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“

පහල වීදිය දිගේ දෙපැත්තටම වාහන යන්න බැරි හංදා ඊළඟට එන හතරමං හන්දිය වෙනකං ඉස්සරහට ගිහිං ආපහු උඩහට නැත්තං පහලට හරෝගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. එහෙම ගෙදර ආවහම 

“අනේ හැබෑට ඔයා බනිස් පුච්චනකං හිටියද“

කියලා පිළිගැනීමක් ලැබෙනවා. 

දැං ඉඳං මෙතන පිං අතේ වැඩක් සහසුද්දෙම්ම කෙරෙන්න යන වග සකල ලෝක වාසී සියළුම බූතයන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, බාල්දි, තොප්පි තොරොට්ටං වලට පේන හිංද අපි බොහොම පරිස්සං වෙන්න ඕනැ. ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා.

පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං කොට්ටෙ යටිං ටෙලිපෝන් එක අරං ඒකෙ තිරෙං වෙලාව බලල 

“හුටාපරිජාලං හාමාරයි වෙලාව. දානෙ උයන්නත් තියෙනව නේද?“

කියලා බිරුසන් දෙනව. එතකොට චූටි මැණිකෙ 

“ඇයි අනේ කෑගහන්නෙ සූකිරියා මොකක් හරි ඇඟට පෙල්ලගෙනද? ඈයනේ.. කියන්නකො“

කියල බයවෙලා අහනවා. ආං එතකොට තලෙයා තාමත් නකුට කටේ ගහගෙන තැටිය උඩ නිදාගෙන ඉන්න වගත් උට ආංතරාවක් නැති වගත් දැං හතහමාරත් පහුවෙලා හිංදා දානෙ වියන්න පරක්කු වෙන බවත් කිව්වහම,

“ආ... ඒකට ඒ හැටි වෙලා යන්නෑ. ඔයාට තියෙන්නෙ පොල්ටික ගාල කොල්ටික කපල සැමන්ටිං එක කඩල දෙන්න ඉතරයි. මං ඉතුරු ටික කරන්නං. ආ... කොල කපන්නත් නෑනෙ. කංකුංනං මට කැපියැහැකි.“

කියලා උත්තර ලැබෙනවා. 

වෙනදට උදේට දොර ඇරපු ගමං දඩාවතේ යන බලල්ලු දෙන්නා දානෙට සම්මාදං වෙන්න ඕනැ හංදා එදා දවසේ කොහෙවත් නොයා ගෙදර රැඳෙනවා. ඒ කියන්නේ හරියටම කුස්සිය මැද වලිග දෙකත් එලාගෙන ඉඳගන්නවා. එතකොට කුස්සියෙ ඇවිදින හැම අඩියක්ම පරිස්සමට අඩිය තියන්න වෙනවා. නැත්නං “ඥෑහුග්“ කියන සද්දෙත් එක්ක මොකක් හෝ බලල් අවයවයක් අපිට පෑගෙනවා. ඒ හංදා හාල්මැස්සො, චොකලට් විස්කෝතු, කිරි ආදී නොයෙක් කප්පම් දීලා බලල්ලු දෙන්නව පිජ්ජෙක උඩට ගාල් කරගන්න ඕනි.

ගෙදර තියෙන බත් උයන්නාව (Rice Cooker) පොඩි හංදා බත් උයන්න වෙන්නෙ දෙපාරකට. ඒ අතරෙ 
“ඔයා මේ කොල මිටිය සුද්ද කොරන්නකො“

කියලා කංකුං මිටියක් එක්ක ඇතුල්පතක් අතට ලැබෙනව. කංකුංවල ඉදිච්චි කොල, මෝරච්ච කොටස් එහෙම බිමට දාද්දි එව්වා මොනවදැයි බලන්න බලල්ලු දෙන්නට ඕනැ වෙනව. ඉතිං උං දෙන්නා පිජ්ජෙකෙං බිමට පනිනව. ඔඩොක්කුවෙ තියෙන ජාතිය මොකක්දැයි බලන්න තලයා කලිසමෙත් එල්ලෙනවා. එතකොට

“අපෝයි.... මේකා මාව හීරුවා....“

කියලා බිරුසන් දුන්නහම

“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“

කියලා උත්තර ලැබෙනවා. කොල ටික සුද්ද කලාට පස්සෙ බලල්ලු දෙන්නා අරං පිජ්ජෙක උඩිං තියලා ආයිමත් අත හෝදගෙන පොල් ගාන්න ඕනැ. මේක දානයක් හිංදා අලුත් පොල් ගෙඩියක් බිඳලා ගන්න ඕනැ. ඒ කියන්නෙ කලිං දවසෙ ඉතුරු පොල් බෑය ගන්නෙ නෑ. දැං බිඳින පොල් ගෙඩියෙ වතුර ටිකත් සින්ක් එකටම හලලා අහක දානව මිසක් බොන්න හොඳ නෑ. පොල් බෑ දෙක පැත්තක තියලා හිරමනේ හයිකරපු මේසෙ ළඟ තියෙන පුටුව මේසෙ ඉඳන් බලල් පැනුමකට වඩා දුරින් තියන්න ඕනෑ. ඉං පස්සෙ හිරමන තලේ ගලවලා අරං හෝදලා ආපහු හිරමනේට හයි කරන්න ඕනෑ. ඉං පස්සෙ පොල් බෑය හිරමනේට තියලා වට දෙකක් කරකවනකොටම “දඩිස් තොස්“ කියලා බලල්ලු දෙන්නා පිජ්ජෙකෙං බිමට පැනලා පුටුව උඩට නගින්නෙ එතනිං මේසෙට පනින්න බලාගෙන. ඒ හංදා තමයි පුටුව බලල් පැනුමකට වඩා දුරකින් තියන්නෙ. එතකොට බලලා පුටුවෙ ඉඳං මේසෙට කිට්ටුම කෙලවරට ඇවිල්ලා බලල් අණ්ඩ දික්කරලා මේසෙට පනින්න දුර වැඩි බව දැනගෙන උද්ඝෝෂනේ පටං ගන්නව. එතකොට කුස්සියෙං ඇහෙන ගාලගෝට්ටිය මේ වගෙයි.
ඒ වුනාට බලල්ලුන්ට මේ ගාන පොල් රැලක්වත් දෙන්න හොද නෑ. පොල් ටික ගාලා ඉවරවෙලා එතනිං අහකට ගනිද්දි මළගෙදරක මිනිය උස්සන වෙලාවට ගෑනු අය විලාප තියනව වගේ බලල්ලු දෙන්නා කෑ ගහනව. එතකොට

“අනේ අර ඊයෙ ඉතුරු පොල් බෑයෙං ටිකක් මේ දෙන්නට ගාල දෙන්න. පවුනෙ“

කියලා උපදෙස් ලැබෙනවා. එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ. එයිං පස්සෙ ආපහු බලල්ලු දෙන්නා පිජ්ජෙක උඩිං තියල අතහෝදගන්නව. මේ වෙනකොට අල තැම්බිලා බත ඉදිලා. චූටි මැණිකෙ පරිප්පු හොද්දක් එක්ක ඔට්ටු වෙද්දිමං තැම්බුණු අල ටික සුද්ද කරනව. කොල ටිකත් කපල දෙනව. ඊළඟට තමයි බැරෑරුම් අවස්ථාව වෙන සැමන්ටින් කැඩිල්ල යෙදෙන්නෙ. මෙතනදි මුලිම්ම බලල්ලු දෙන්නව කුස්සියෙන් එළියට දාලා කුස්සියෙ දොර තද වෙන්න වහගන්න ඕනි. ඉං පස්සෙ මිටියයි වප්පිහියයි අරගෙන පිහියෙ තුඩ ටින් එකේ පියනෙ දාරෙට තියලා පිහියට මිටියෙං ගහන්න ඕනැ. මේ විදිහට මිටි පාරවල් දෙකක් වදිද්දි කුස්සියෙං පිට ඉන්න බලල්ලු දෙන්නට සත්‍යාවබෝධය ලැබෙනවා. එතකොට බලල්ලු දෙන්නා ස්පාඤ්ඤ බාසාවෙ තියෙන සේරම නරක වචන කියන ගමං “දොර ඇරපියාව්“ කියලා කුස්සියෙ දොරේ එලිය පැත්තේ දොර බෝලෙ එල්ලෙනව. මෙතනදි ඉඳුල් නොකිරීම කියන සිල් පදය අතාරින්න අපිට සිද්දවෙනව. 

“පව්නෙ නේද?“

කියලා කල්පනා කරලා සැමන් ටින් එකේ තියෙන මහා වතුර කඳත් එක්කම සැමන් කුට්ටියකුත් දෙකට කඩලා බලල් පිඟං දෙකට දාලා බලල්ලු දෙන්නට දෙනවා. ඉං පස්සෙ තියෙන්නෙ කෑම ඔතන්න කොල කැපිල්ල. මේකට කෙක්කක් තියෙන රිටකුත් පිහියකුත් ඕනැ වෙනවා. කෙක්ක පටලවලා පාත් කරන කෙහෙල් අත්තෙ මැද පීල්ලෙ තියෙන වතුර ටික ඇඟට හැලෙන්නෙ නැතිවෙන්න අගිස්ස කපාගෙන අත්ත අතාරිනවා. සමහර කෙහෙල් අතු නං උඩ පැනලා දෙන එක පිහි පාරෙං කැපෙනවා. කාලයක් තිස්සෙ මෙහෙම කෙහෙල් අතු කපන හංදා අපේ වත්තෙ කෙහෙල් ගස් සේරම අතු බාග තියෙන ගස්.

මේ විදිහට කෙහෙල් අතු කපද්දි අල්ලපු වතුවල අය අපිට ආභරණ විදිහට තෑගි දීපු බෝතල් කටු, කම්බි, යකඩ ඇන එහෙමත් කකුලෙ පළඳගන්න වාසනාව ලැබෙනව. මෙහෙම කපාගන්න කෙහෙල් කොල ඉරෙන්නෙ නැතුව පරිස්සං කරන එක ලේසි නෑ. ඒ හංදා කොල හයක වැඩේට කොල දහයක් විතර කපන්න ඕනෑ. ඒ කෙහෙල් අගිස් ගෙනත් ඒවයෙ දෙපැත්තෙම විම් සබං ගාල හෝදද්දි තවත් කොල එකක් දෙකක් ඉරෙනවා. 


කෙහෙල් කොල

මේ වෙනකොට උයලා ඉවරයි. බලල්ලු දෙන්නත් තමුංගෙ කප්පම අරගෙන දොරකඩට වෙලා මූන අතපය හෝදනවා. ඊළඟට පොල් කටු හත අටක් තලලා අරගෙන දර ලිපේ විසාල ගිනි ජාලාවක් පත්තු කරගන්නවා. ඒ ගින්දරට කෙහෙල් කොලේ යටි පැත්ත අල්ලලා තවාගන්නවා. මෙතනදිත් අඩුම වසයෙන් එක කෙහෙල් කොලයක්වත් හරියටම මැදකිං ඉරිල යනවා. සමහර වෙලාවට කෙහෙල් කොල තවලා ඉවර වෙද්දි ආයෙමත් කොල කපන්න යන්නත් වෙනවා.

බත් මුල් බැඳෙන්නෙ මේ විදිහට. 





මෙතනදි පපඩං, මිරිස් එහෙම වෙනම කවරෙකට දාල තියන්නෙ එව්වා පොඟනවට.


මෙහෙම බැඳෙන බත් මුල් සේරම කවරෙක අඩුක් කරගන්නවා. 







යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.

මේවා බෙදන්න යන වැඩේට හොඳම වාහනේ මොටෝ සයිකලේ. නිතර බයිසිකලේට නගින්න බහින්න වෙන හංදා මේ ගමනට දෙන්නටම ගැලපෙන ඇඳුම කලිසම. 



හැබැයි කමිසෙට සාක්කුවක් තියෙන්නම ඕනැ. කලිං කියපු සල්ලි කොල ටික එක එකක් වෙන වෙනම නවලා ඒ සාක්කුවෙ දාගන්න ඕනි. ඊළඟට පාරෙ යන වාහනවලින් අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා හිතාගෙන සුභ මොහොතින් පාරට බහින්නයි තියෙන්නෙ. පළවෙනියටම යන්නෙ සේනානායක පිට්ටනියෙ කෙලවරට. ඒ යන ඩිංගට වමෙං ඉස්සර කරන බයිසිකල්, මූනට පනින බස්, ඇඟට කපන ත්‍රීවිල් වල අයට එහෙම මොනවත් කියන්න නරකයි. ඒ ගමංම කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිසත් ගනං කරගෙන යන්න ඕනැ.  පිට්ටනියෙ අයිනෙ අතුරු පාරෙං නීත්‍යානුකූල විදිහට බයිසිකලේ නවත්තලා ආපහු ප්‍රධාන පාරට ආවම පලවෙනි දානෙ ලබන්නා පාර අයිනෙ ඉන්නවා. එයාට බත් පාර්සලයක් දුන්නම


“අපෙයම්මට ගීං දෙන්න තව පාර්සලයක් දෙනවද නෝනා“

කියලා එයා චූටි මැණිකෙගෙං අහනව. එයාට පාර්සල් දෙකක් දීලා සල්ලිත් දීලා ආපහු හැරෙනවා. ඉං පස්සෙ එයා ඒක කනවද, විසිකරනවද, විකුණනවද කියන එක හොයන්න හොඳ නෑ. ඒ මිනිස්සුංගෙ පොටෝ ගහලා ෆේස්බුක් එකේ එහෙම දාන එකත් ඒ තරං හොඳ දෙයක් නෙවෙයි. වට පිටේ ඉන්න මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එකවත් බලන්න හොඳ නෑ. ආපහු අතුරු පාරෙං බයිසිකලේ අරගෙන කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිස හොයාගෙන යනවා. එතන වාහන නවත්තන්න තහනං හින්දා බයිසිකලේ පුස්තකාලෙ ඉස්සරහ දාලා කහ ඉරක් හොයාගෙන තව ටික දුරක් ගිහිල්ලා එතනිං පාර පැනලා පාරෙ අනෙක් පැත්ත දිගේ කච්චේරිය ගාවට ගිහිං එතන ඉන්න දෙතුන් දෙනාටත් දානෙ දීලා ආපහු කහ ඉර හොයාගෙන ඇවිත් පාර පැනලා බයිසිකලේ තියෙන තැනට ගිහිං ඒකෙ නැගිලා මුතියංගණය පන්සල ගාවට යනවා. එතනත් කඩ ලෑලි ටික පහුකරලා එහාට ගිහිං ඉඩ තියෙන තැනක බයිසිකලේ නවත්තල ඇවිත් පන්සල ඉස්සරහ ඉන්න දෙන්නට ඉතුරු පාර්සල් දෙකත් සල්ලිත් දෙනවා. සමහර වෙලාවට කට්ටිය වැඩිවෙලා කෑම පාර්සල් මදිවෙනවා. එතකොට ඉතිරි අයට කෑම කඩෙං ගන්න කියලා සල්ලි දෙනවා. ආපහු හැරෙනකොට ලොතරැයිකාරයා.

“පිං කරගෙන යන ගමං වාසනාව උරගා බලන්න.“

කියලා ටිකට් පොතක් අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකට අහුවෙන්නෙ නැතුව අපි ආපහු ගෙදර එනවා. එතකොට උදේ දහයත් පහුවෙලා. ඊළඟට පොලේ යන්න තියෙන හංදා බයිසිකලේ මිදුලෙම නවත්තලා බඩගින්නේ දියවෙන්න යන බඩට මොනව හරි දාගන්න කුස්සියට යනවා. එතකොට කුස්සියෙං එලියෙ ඉඳං චියනයි, බෑණයි “ඥියව්“ කියනවා. 

“මට නං දැන් සැමන් කන්න බෑ“

චූටි මැණිකෙ කියනවා.

“මටත් බෑ වගේ අනේ“

මාත් කියනවා. අපි දෙන්නට දෙන්නා එහෙම රැවටිලා

“එහෙනං ඔය ඇතිලියෙ ඉතුරු ටික අනලා අර දෙන්නට දෙමු“

කියල තීරණය කරගන්නවා. ඒ විදිහටම ඒ දානෙ පංගුවත් හදලා දෙකට බෙදලා කොල දෙකකට දාලා රණ්ඩු කර නොගන්නා දුරකින් තියලා චියනාටත්, බෑණටත් දෙනවා. ඒ දෙන්නා “ලාබු ලාබු“ කියලා තමුංගෙ කොටස ඉටුකරද්දි අපි දෙන්නත් ඉතුරු හරියක් බඩට දාගෙන පොලේ යනවා. එදා හවසට පන්සලට ගිහිං මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා පිං අනුමෝදන් කරලා දානෙ අවසන් කරනවා.

****************************************************

Sunday, April 30, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3

ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක මිට හරි එහෙමත් නැත්තං පෙති ඉස්කුරුප්පුනිය හරි අර ගෙන ඒ කූරෙ මැද තියෙන පැල්මට රිංගවල කරකැව්ව. අපේ තාත්තට SW-MW මාරුවෙන්න වැදිල හිටපු දවසක කූර වැරදි පැත්තට කරකවන්න ඇති වීරියෙන් පිහිය තලේ කරකැවීම හිංදා පැල්මෙන් දෙකට බෙදිල තිවුන කූරෙ එක තටුවක් කැඩුනා. එයිං පස්සෙ ඒක කරකවන්න පුලුවං උනේ ඉතුරු තටුවෙ අගිං උල් අඬුවෙං අල්ලලා කැරකීමෙං විතරයි. ඒ වෙනකොට ඒරියල් එකෙත් අන්තිම පුරුක් දෙක ගැලවිලා ගොක් අත්ත කපාපු පොල් ගහ වගේ වුනා. අත්බෙහෙත්, ඉංගිරිසි බෙහෙත් කරලා අන්තිමට පිටිපස්සෙ තියෙන තහඩුවෙ තියෙන තඹ පාටිං ඇඳපු පාරවල් ටික හැට්ට කට්ටෙං හූරන කටු චිකිත්සාවත් අහන්නෙ නැති තරමට රේඩිවේක ඇට්ටර උනා. රේඩිවේක “රේඩි කබල“ බවට පත්වුනා.

මේ තියෙන්නෙ කූර - පිංතූරය අලි බබාගෙං


එක දවසක් හැන්දෑවක පුරුදු විදිහටම සරම පැත්තක් හරියක් වගේ උඩට උස්සගෙන බිමට කෙල ගගහ ගුන්තිලක මාමලගෙ වැට මායිමෙං තාත්තා මතුවෙනකං අපි බලාගෙන හිටියා. ඇඳිරි වැටීගෙන එනකොට තාත්තා වැට මායිමෙං මතුවුනා. හැබැයි එදා තාත්තගෙ සරම දෙපැත්තම එකම උසින් කොටුවක් වගේ තිබුණා. බිංදුවට ලැගල ඉන්න පුළුවං තරං දිග පෙට්ටියක් තාත්තගෙ කරේ තිබුණා. වෙනදට කුස්සියෙ දොරකඩට එහායිං තියෙන ගල්ගෙඩිය උඩ කකුල් තියාගෙන කකුලෙ ඉන්න කූඩැල්ලො අරං දාන්න නැවතින තාත්තා එදා කරේ තියෙන පෙට්ටිය අරගෙන කුස්සියෙං ගෙට ඇතුල් උනේ පෙට්ටිය උලුවස්සෙ නොවදින්න කොන්දත් පාත් කරගෙන.

“ඔය මේසෙ උඩ පිහදාං විගහට“

තාත්ත පෙට්ටිය කරේ තියාගෙනම අණ දුන්නා. මං මේසෙ පිහදාන්න කුස්සියෙ තියෙන වලං බාන පාංකඩේ අරං ආවා.

“ඕක නෙමෙයි අර හොඳ රෙද්දකිං පිහාං“

ඒ ගමන අම්මා විගහට රෙදි පෙට්ටිය අවුස්සල පරණ සරොං පලුවක් අරගෙන මේසෙ උඩ තිවුණ වතුර, පොල්තෙල්, විට වට්ටියෙං හැලිච්ච හුණු කුඩු, එහෙ මෙහෙ ගමං ගිය කඩි දෙතුං දෙනෙක් ආදී අඩුම කුඩුම සේරම එක ගොඩට පිහල දැම්මා. තාත්තා පෙට්ටිය මේසෙ උඩිං තියල ටෝච්චෙකත් අරං එලියට බැස්සෙ කකුලෙ කූඩැල්ලො අරං දාන්න.

“මේක මොකජ්ජෑඈ...“

නංගි ඇඳට නැගල මේසෙ උඩට නගින්න හදත්දි තාත්තා මිදුලෙ ඉඳං කෑගැහුවා. 

“ඔහෙ තිහාල්ල ඕක මං එනකං“

අම්මත් හැන්ද අතේ තියාගෙනම ඇහිල්ලා පෙට්ටිය දිහා බැලුවා. ඒ පෙට්ටියෙ පිට පැත්තෙ පීකර දෙකේ කැසට්ටෙකක් ඇඳල තිවුනා. 

“මොකද්දෝයි මේ“

කූඩැල්ලො අරංදාල ගෙට ඇහිල්ලා කමිසෙ ගලෝල රෙදි වනන ලීයෙ දාන තාත්තගෙං අම්ම ඇහුව.

“ඉන්නොවකො වියසල. පෙන්නන්න. තවුසෙ ගිහිං මට කහඩ්ඩිංගක් වක්කොන්නොවකො“

තාත්තට කහට ඩිංගක් වක්කොල්ල දෙන්න අම්ම කුස්සියට ගියා. තාත්තා කහට බීල ඉවර වෙනකං නංගියි මායි ඒ පෙට්ටියෙ තියෙන එක මොකද්ද කියලා හිත හිතා කැරකුනා. අපේ කුතුහලේ උපරිමේට ආවට පස්සෙ තාත්තා මේසෙ උඩ තිවිච්ච පෙට්ටිය අරං ඇඳ උඩිං තිබ්බා.




ඊළඟට ආයිත් සැරෙයක් මේසෙ අස් කෙරුවා. මේසෙ උඩ තිවුනු පරණ බෙහෙත් බෝතල්, කුප්පි, බෙහෙත් කවර, එහෙම කුණුමුල්ලට දාලා මේසෙ උඩිං දෙතුං දෙනෙක්ට ඉඳගන්න තරං ඉඩක් අස්කෙරුවා. ඊළඟට නියපොත්තෙං කොනහල පෙට්ටියෙ පියනට අලෝල තිවුණ ඇලෙන ඉටිකොල කෑල්ලෙ කොන පාදගෙන හීං සැරේ ගැලෙව්වා. ඊළඟට පියං දෙක ඇරල ඒකෙ තිවුන ඉටි කොලයක් දිගෑරියා. ඉටි කොලේ ඇතුලෙං අමුතුම හැඩේ රිජිපෝං කෑලි දෙකකුත් අරං ඇඳේ කොනකිං තිබ්බා. ඊට පස්සෙ

“ඔය පෙට්ටිය අල්ලගනිං“

කියලා පෙට්ටිය අස්සෙං දිග පෙට්ටියක් වගේ එකක් එළියට ඇදල ගත්තා. මගේ කට ඇරුනා. අම්මට “ආ..“ කියවුනා. අම්මගෙ අතේ තිවුණ හැංදෙං හොඳි බිංදුවක් මගෙ කකුලට හැලුනා.

අපේ අහලපහල කිසිම ගෙදරක නොතිබිච්චි තරං ලොකු පීකර දෙකේ කැසට්ටෙකක් තාත්තගෙ අතේ තිවුනා.





“ඔය පෙට්ටියෙ යට තීන රිජිපෝං කෑලි දෙක ගං. ඇරං මේසෙ උඩිං තියහං“

මං පෙට්ටියෙ අඩියෙ තිවිච්ච රිජිපෝං කෑලි දෙක අරං මේසෙ උඩිං තිබ්බා. ඒ දෙක එක එක අතට තියලා බලලා අන්තිමට කැසට්ටෙකේ දෙකොණට ගැලපෙන්න අච්චුව වගේ හයිකරලා පෙරලෙන්නැතුව තියන්න හදාගන්න අපිට පුළුවං උනා. 

කැසට්ටෙකේ මැද තියෙන කෑල්ලක් ඩිංගක් උඩට කරපු ගමං කබරයෙක් පිඹින්නා වගේ මහා “සෝ“ සද්දයක් මතුවුනා.

“හත්තිකේ හොද්ද උතුන්නවද කොහෙද“

හොද්ද උතුරලා ලිප පල්ලෙ හැලිලා ලිප නිවුනා කියල හිතාගෙන අම්ම කුස්සියට දිව්ව. 

“නෑඕයි මේකෙ සද්දෙ ඒ“

තාත්තා පැහැදිලි කරා. ඊළඟට මීටරේ කටුව දුවන පාරෙ පැත්තකට වෙන්න යංතං මතුවෙලා තිවුන රවුං කාලක් කරකවන්න පටං ගත්තා. අර සෝ සද්දෙ අස්සෙං තැනිං තැන

“සෝ.............................හග්..සෝ..............................බග්....සෝ....................“

කියල සේවා අහුවෙන්න ගත්තා. ඒ වුනාට කිසිම සේවයක් මනුස්ස කටහඩක් තේරුංගන්න අහන්න තරං හොඳට අහුවුන්නෑ. ඊළඟට තාත්තා රේඩිවේකෙ උඩු පැත්ත අතගගා හෙව්වා හෙව්වා හෙව්වා .... අන්තිමට 

“බලහං කොල්ලො මේක උඩ ඒරියල්ලෙක තියෙනවද කියල“

කියලා මට කිව්වා. ටෝච්චෙක අල්ලලා බලලා මං ඒරියල් එක හොයාගත්තා. ඊට පස්සෙ ඒක රේඩිවේකට හයිවෙලා තියෙන පැත්ත හොයාගන්න තවත් වෙලාවක් ගියා. අන්තිමට ඒක හරහට තිවුනට ඕන අතකට දිගාරින්න පුලුවං බව රේඩිවේකෙ පෙට්ටියෙ තිවුන පොතේ පිංතූර බලලා පැහැදිලි කරගෙන අපි ඒරියල් කූර දිගෑරියා. පරණ රේඩිවේකෙ ඒරියල් කූරටත් වඩා දිගට දිගෑරියට පස්සෙ ආයිමත් රේඩිවේකෙ සේවා අල්ලන රවුම කැරකෙව්වා. මීටරේ අන්තිම හරියට සේවයක් අහුවුනා. 

“න්නැලවෙන තුම්පත් රෑ නේ...ටනක් ටනක් ටනක්... සිරසයි පාන තියන්නේ“

හරියටම කියතොත් අපේ ගෙදර මේසෙ උඩ ඉඳං ඇත්තම මිනිහෙක් කතා කරන විදිහට පැහැදිලිවට සද්දෙ ඇහුනා. ඒ විතරක් නෙවෙයි වෙනදට වඩා පැහැදිලිව සංගීතෙත් ඇහුනා. අපේ කටවල් ඇරුනා. මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි. ඒ විතරක් නෙමෙයි ඒරියල් කූරක් රේඩිවේකට ඇත්තටම ඕනි කොටහක් කියලා අපි තේරුම් ගත්තෙත් ඒකෙං. 

ඇත්තටම ඒ කැසට්ටෙකේ සේවා අහුවෙන්න ඒරියල්ලෙක නැතුවම බෑ. සිරස අහුවෙන්න නං ඒරියල් එක උඩට දික්කරල තියන්න ඕනි. සවන අහුවෙන්න නං ඒරියල්ලෙක හරහට හරෝල තියන්න ඕනි. ඒරියල්ලෙක කොටකරල තිවුනොත් සෝ සද්දෙ විතරමයි. එයිට අමතර වසයෙන් ඒකට සමහර සේවා අහුවෙන්නෙ අපි ළඟ ඉද්දි විතරයි. අපි ඈතට යද්දි සේවෙ පැහැදිලි නැතිවෙලා යනව. ඒ හිංදා අපි කවුරුහරි රේඩිවේක කිට්ටුවට වෙලා ඉන්න ඕනි. සමහර වෙලාවට කැසට්ටෙක ඉස්සරහිං කවුරුහරි යනකොට සද්දෙ වෙනස් වෙනව. ඒ හංදා අපි ඒකටත් කම්බියක් ඇමුණුවා. වැඩි කාලයක් යන්න කලිං කැසට්ටෙකට ඒරියල්ලෙක නැතුව බැරුව වගේ ඒරියල්ලෙකටත් කම්බිය නැතුව බැරිවුනා. වෙනදට ඒරියල් එකට විතරක් අහුවෙන සේවා සේරමත් කම්බිය නැති උණහම ඉස්ට්‍රයික් කෙරුවා.


බැට්ටියක දැන්වීමක්

අලුත් කැසට්ටෙකට බැට්ටි කෑලි හයක් ඕනි. ඒවත් අලුත්ම ඒව වෙන්න ඕනි. කැසප්පීස්සෙකක දෙපැත්ත අහපු ගමං බැට්ටි සේරම බහිනව. පරණ රේඩිවේක වගේ ටෝච්චෙක අහක දාන ඉඳුල් කන්න මේ අලුත් කැසට්ටෙක කැමති උනේ නෑ. ඒ හංදා අපේ ගෙදර ණය පොතෙත් බැට්ටි කෑලි ගාන වැඩිවෙන්න කලිං තාත්තා බැට්ටියකුත් ගෙනාවා. ඒත් එක්කම කැසට් පීස් කීපෙකුත් අපේ ගෙදරට ආවා. මුලිම්ම ආවෙ කවිබණ කැසට්. සමහර දවස්වලට බීල ඇවිල්ලා රණ්ඩුවෙන්න හේතුවක් නැතුවහම තාත්තා එයිං කැසට් පීස්සෙකක් කැසට්ටෙකට ඔබලා ඒක මුළු ගමටම ඇහෙන්න කෑගැස්සෙව්වා.


“සත්තපුරේ සිරිලක් පැංසියවුස්සායතනයේ කාලීන කවිබණ මාලා අංක දහ හතර මත්පැන් පානයේ ආදීනව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි. ටංක ටකං දඟර පටං....... බුංංං...“


අපේ ගෙදර කැසට්ටෙක නැන්ද ගෙනා කැසට්ටෙකට වැඩිය ලොකු එකක් හිංදා නැන්දගෙ ලොකුකම බැහැල ගියා. ඒ හංදා මට නැංදලගෙ ගෙදර යන්න තිවුණ තහනමත් නැතිවුනා. තහනම අයිංවෙලා කාලෙකට පස්සෙ මං නැන්දලගෙ ගෙදර ගියේ වෙනිං මොකද්දෝ වැඩකට. ගෙට ඇතුල්වෙන දොරකඩට කෙලිං ඉස්සරහ බිත්තිය අයිනෙ තිවුණ කබඩ්ඩෙක උඩ නැංදගෙ කැසට්ටෙක මල් පෝච්චි, බෝනික්කො වටකරගෙන දොරකඩ දිහා බලාගෙන හිටියා. හැබැයි අපේ කැසට්ටෙකට නැති අමුතු ආරක්සාවක් ඒ කැසට්ටෙකට තිබුණා. ඔව්, ඒ කැසට්ටෙකේ මැදිං දර මිටිය බැන්ද වගේ ටියුබ් පටි කෑල්ලකිං ගැටගහල තිවුනා.

නැන්දගෙ කැසට්ටෙක


ඒ වෙලාවෙත් කැසට් පීස් එකක් ඒක ඇතුලෙ රිංගගෙන කෑගගහ හිටියෙ. කැසට් පීස්සෙකේ සද්දෙට අමතර වසයෙං කැසට්ටෙක අස්සෙං විල්බැරැක්ක රෝදෙයක් කැරකෙනව වගේ සද්දෙකුත් ඇහෙමින් තිබුණා. අපේ තාත්තා අනාවැකි කියපු විදිහටම පියසේන මාමා කැසට්ටෙකට 'මැකෑනිස් වැඩේ' කරල තියෙන බව මට හිතා ගන්න පුළුවං උනා.


කැසට් පීස්සෙකේ එක පැත්තක් ඉවර උනා. අපේ ගෙදර කැසට්ටෙක නං ඒ වෙලාවට 'ටබක්' කියලා නැවතිලා කැසට් පීස්සෙක වැඩකරන සුවිච්චෙක උඩට ඇහිල්ලා සද්දෙ නවතිනවා. ආයි කවුරුවත් ගිහිං දෙවෙනි සුවිච්චෙක ඔබලා දොර ඇරලා පීස්සෙක අරං අනික් පැත්ත දැම්මොත් ඇරෙන්න ඒක වැඩ කරන්නෙ නෑ. හැබැයි නැංදලගෙ කැසට්ටෙක එහෙම උනේ නෑ.


පීස්සකෙ ඉවර උනාට කැසට්ටෙක නවතින්න කැමති උනේ නෑ. නැවතිලා ඉන්න ඇට්ටර පීස්සෙක කරකවන්න කැසට්ටෙක උත්සාහ කලා. තමුංව බලෙං කරකවන්න හදන කැසට්ටෙකට විරුද්දව පීස්සෙක අභ්‍යන්තර සටනක් ආරම්භ කලා. කැසට්ටෙක අස්සෙ වීමෝලක් දැම්ම වගේ "වර වර වර වර වර වර" කියල සද්දෙයක් ආවා. අපි හැමෝම ගල් ගැහිලා බලං හිටියා. තප්පර ගානක සටනකිං පස්සෙ 'දකස්' ගාලා Play සුව්ච්චෙක උඩට පැන්නා. උඩට ආවා නෙවෙයි උඩට පැන්නා. අඩි දෙකක් තරං උඩට විසිවෙච්ච සුවිච්චෙක බිත්තියයි කබඩ්ඩෙකයි අස්සෙං බිමට වැටුනා. ඒත් එක්කම කැසට් එකේ දොරත් 'දහ්' ගාලා ඇරුනා. අනෙක් කැසට්වල දොර ඇරෙන්නෙ ඇඟිලි දෙකක් දාන්න පුළුවං තරම ඉඩක් හිටින්න උනත් මේ කැසට්ටෙකේ දොර ඇරුනෙ ලොරියකට බඩු පටවන්න ඒකෙ පිටිපස්ස දොර අරිනව වගේ හරහටම වැටෙන්න. ඒ වේගෙට කැසට් පීස්සෙක විසිවෙලා සාලෙ මැදක් තරම ගිහිං බිම වැටුනා. උඩිං ආපු මේ අරුම පුදුම බාන්ඩෙ බලන්න හොස්ස දාපු බිංදුවව එලෝපු මම කැසට් පීස්සෙක අහුලගත්තා. නැංදා කොස්සෙං කබඩ්ඩෙක යට අතුගාලා සුවිච්චෙක හොයාගත්තා. ඒත් එක්කම ඉස්කුරුප්පු ඇන දෙක තුනකුත් හම්බවුනා.

"මේ තියෙන්නෙ කැසට්ටෙකේ ඇන ටික. මේක නැතිවෙලානෙ ඊයෙ පීසේන මේක මේ ටියුප්පටියෙං ගැටගැහුවෙ"

නැංදා ඒ ටිකත් අරං කබඩ්ඩෙකේ ලාච්චුවට දාල වැහුවා. 

මීට අවුරුදු දෙකතුනකට කලිං අපේ ගෙදරට ලොකු සෙටප් එකක් ගෙනත් තිබුණා. ඒ හංදා අපේ තාත්තා පරණ කැසට්ටෙක කාඩ්බෝඩ් පෙට්ටියක දාලා මට එව්වා. මං හදපු ඇම්ප් එකේ දෙපැත්තෙ පොඩි පීකර් දෙක විදිහට තාමත් පාවිච්චි වෙන්නෙ ඒ කැසට් එකේ පීකර් දෙක.

ඔය දෙපැත්තෙ තියෙන්නෙ ඒ බපල් දෙක තමා.

*****************************************************************************

බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගිහිං ඔබේ ඡන්දය ලබාදෙන්න. දැනටමත් සොඳුරු අතීතයෙන් බිඳක් පළවෙනි තැන අල්ලලා. දෙවෙනි තැන අටං අයියා අල්ලලා. තුන හතරත් ඒ කිට්ටුවම ඉන්නවා. මගෙත් ලිපි එකක් ඒ ලැයිස්තුවේ තියෙනවා.


බ්ලොග් පෝස්ට් වලට ඡන්දය දෙන්න මෙතැන ඔබන්න. එතැන පහල තියෙන ලිපි ලැයිස්තුවෙන් ඔබ කැමති ලිපි එකේ සිට තුන දක්වා ගණනක් මත ක්ලික් කරලා ලැයිස්තුවට පහලින් ඇති VOTE බොත්තම ඔබන්න. එවිට Facebook, Twitter හෝ G+ අතරින් ඔබ ලියාපදිංචි වී ඇති සමාජ ජාලයක් පාවිච්චි වී ලොග් වන ලෙස ඔබෙන් ඉල්ලනු ඇති. එයින් කැමති සමාජ ජාලය තෝරා ලොග්වන්න. ඔබේ ඡන්දය පාවිච්චි කිරීම අවසන් වනු ඇත.



Friday, April 21, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2

රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම


"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"

කියල අහනව.

"ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"

මං උත්තර දෙනව.


"කීයටද් තියෙන්නෙ ක්හ්ං"


"දැම්පටං ඇරං ඇති"


තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව.


"ටික්"


ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං අනික් කොනට යනකං ලොකු රෝදෙ කීප සැරයක්ම කරකැව්වට මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ ගමන රේඩිවේක බැනුං අහනව.


"මේ බඩකැවුත්ත ඒගාන අහුවෙන්නෑ."


තාත්තා ඒකට වෙදකං කරන්න පටං ගන්නව. මේකට පළවෙනියටම කරන්නෙ ගොඩ වෙදකං. අත්බෙහෙත් හැටියට ඒරියල්ලෙක පුළුවං තරං උසට දිගාරිනව. ඊළඟට ඒරියල් එකට ගෙදර තියෙන තරමක් කම්බි හොයල අමුණල එක කොනක් ජනේලෙං එලියට දානව. නැත්තං පුවක් කපන පිහියෙ මුවහත පැත්ත ඒරියල්ලෙකට ගාවනව. නැත්තං රේඩිවේක එක එක අතට හරෝල බලනව. මුනිං අතට තියනව. රේඩිවේක වටේ එක එක තැංවලට තට්ටු කරනව. ඇල කරනව. ඒත් මේ කිසිම අත්බෙහෙතකිං මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ හිංද තාත්තා බටහිර වෙදකමට යොමුවෙනව.


"මේ ඕයි"


තාත්තා අම්මට කතා කරනව.


"ඕ"


"අර කෙල්ලගෙ ඕඩිකොලොං බෝතලේ දෙනොව මෙහෙ"


අම්මා නංගිගෙ ඕඩිකොලොං බෝතලේ තාත්තට දෙනව. තාත්ත රේඩිවේක මේසෙ උඩ උඩුබැලි අතට හරෝල තියල විට වට්ටියෙ තියෙන පිහිය ඇරං ලයින් කඩන පොඩි රවුමයි, අඬ අඩුවැඩි කරන රවුමයි දෙකම යටිං පිහිය තලේ දාලා උස්සලා ඒ රවුං දෙකම ගලෝනව. ඒ රවුං දෙක උඩ පැනල මේසෙ දිගේ රෝල් වෙනව. මං ඒ දෙක අල්ල ගන්නව. ඊළඟට ඒ රවුං දෙක ගලෝපු තැන යටිං තියෙන කූරු දෙක දිගේ හොඳට යටට බහින්න ඕඩිකොලොං දානව. දාල පිඹිනව. ආයිමත් රවුං දෙක හයිකරනව. ඉං පස්සෙ ඒ දෙකම හත් අට පාරක් දෙපැත්තට කරකෝනව.

"ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ්"

"යාහුප් බාහුප් කාඋප් යඋප් හෙප් හොප්"

එතකොට රේඩිවේකත් තමුංගෙ රවුං කරකැවෙන හැටියට බහුබූත කියනව. ඉං පස්සෙ තාත්තා රේඩිවේක මුනිං අතට තියලා රේඩිවේකෙ පස්ස පැත්තෙ පියන අරිනව. බැට්ටි බටෙත් ගලෝනව. එතකොට රේඩිවේක අස්සෙ පදිංචි වෙලා ඉන්න කැරපොත්තො එහෙමෙහෙ දුවනව. තාත්තා ගුරුලේත්තුවෙ තියෙන දුංකල ගුලිය ලිහල දුංකල නැටි කෑල්ලක් අරං ඒකෙං කැරපොත්තංව එළියට ඇදල දානව. ඉං පස්සෙ සේවා අල්ලන රවුමෙ යටි පැත්ත කියල හිතෙන තැනටයි තවත් කොහෙද අහුමුළු දෙක තුනකටයි ඕඩිකොලොං දාල පිඹිනව. ආපහු බැට්ටි බටේ හයිකරල රේඩිවේක නැගිට්ටෝල අරගෙන අතට අහුවෙන ලොකු පොඩි රවුං සේරම හත් අට වතාවක් දෙපැත්තට කරකැව්වට පස්සෙ ඒ වෙදකමත් ඉවර වෙනව. සමහර දවස්වලට ඒ වෙදකමත් හරියන්නෙ නැතුවහම තාත්තා බොහොම දරුණු තීරණයක් අරගෙන


"මේකෙ රවුං මලකඩ අල්ලල."


කියලා ඕඩිකොලොං වෙනුවට කුප්පි ලාම්පුවෙ තියෙන ලාම්පුතෙල් ටිකක් රේඩිවේකෙ ඒ තැංවලට දානව.


ඔය සේරම කරලා යංතං සේවෙ අල්ලගෙන බලනකොට නාට්ටියෙ අන්තිම කොටහ. නැත්තං නාට්ටිය ඉවර වෙලා අන්තිමට නිවේදකය 


"ලබන සතියේත් මේ වේලාවටම ඒ බවර් සහ සමාගම ඔබ වෙතට ගෙන එයි... ටනනං ටනනං ටනනං ටනනං ටට්ටා ආාාාා .... මුවංං   පැලැස්ස...."


කියල කියනව. ආං එතකොට අපේ තාත්තට යකා වැහෙනව.


"ඉඳකිං රේද්ද... මේ කැවුතුකැටිය"


කියලා රේඩිවේක බිම දාලා ඇඳයට්ට විසිවෙන්න පයිං එකක් ගහනව. ඒ වෙලාවට බැට්ටි බටේ පැන්නොත් රේඩිවේකෙ සද්දෙ නවතිනව. එහෙම නැත්තං රේඩිවේක තාත්තට ඔලොක්කුවට වගේ ඇඳයට ඉඳං දෙමළ සිංදුවක් කියනව.


"ඩඟර පටං ඩඟර පටං..ටං ටං ටං ටටං ටටං. ආඩාාා....... අඩේ ...... පූඩා....."


ඒ වෙලාවට මං කොස්ස ඇඳ යට්ට දාලා රේඩිවේක ඇදල අරං ඒකෙ සද්දෙ වහනව.


මුවම්පැලැස්ස ඇරුණම ආයිත් තිවුනෙ "රහස් පරීක්ෂක නාට්ටිය" කියල එකක්. කඩිගුලක් උඩ ඉඳගත්ත කෙනෙක් උඩ පැනල පස්ස බදාගෙන කෑ ගහනව වගේ බොහොම බයානක සද්දයක් ඒ නාට්ටියෙ මැද හරියෙ දාන හිංදා මං ඒක අහන්න බයයි. ඒකෙ තියෙන්නෙත් බය හිතෙන කතා. ඒ බය හිතෙන දේවල් සේරම අහං ඉඳල මං රෑට දොට්ට යන්නෙ ඇස් දිස්ටි මානෙ තියෙන හැම ගහක් කොලකටම ටෝච්චෙක අල්ලල ඒ කොයියම්ම එහෙකවත් හොල්මනක්වත් ඇටරැකිල්ලක්වත් ලේ පෙරාගත්ත ගෑනියෙක්වත් නෑ කියල සහ සුද්දෙම්ම දැනගෙන. ඒත් අමතර ආරස්සාවට අම්මත් මගෙ පිටිපස්සෙම්ම ඉන්න ඕනි. 


මේ රේඩිවේක කියන භාණ්ඩෙ වැඩකරන විදිහ ගැන විජය පත්තරේ ලිපියක් කියෙව්වට පස්සෙ මට අපේ රේඩිවේක වැඩිදියුණු කරන්න ඕනි වෙනවා. ඒ හංදා එහෙං මෙහෙං හොයාගත්තු තඹ කම්බි, යකඩ කූරු එක්කහු කරලා පොල්කට්ටක් විතර ලොකු මකුළු දැලක් වගේ අරුම පුදුම ඇන්ටනාවක් මං හදාගන්නව. ඊළඟට බැට්ටි වෑර් කෑල්ලක් හොයාගෙන ඒක පලල ඒක අස්සෙ තියෙන කම්බි ටික අරගෙන එකිං එකට කොනිං කොන තියල අඹරලා දිග කම්බියකුත් හදාගන්නව. අන්තිමට ලාඩප්ප කෝට්ටක අමුණපු ඇන්ටනාව මිදුලෙ හිටෝල ඒකෙං ඇදගෙන ආපු කම්බිය ඒරියල් එකට ඇමුණුවහම SW පැත්තෙ වෙනදටත් වඩා සේවා අහුවෙනව. ඒ සේවාවල සමහර බාසාවල් මං ජීවිතේට අහලත් නෑ. එයිං එක සේවයක් මෝටරයක් කැරකෙන සද්දෙං මුළු දවසම "ට්ර්ර්ර්ර්රර්" කියනව. තව එක සේවෙක මිනිහෙක් සැරිං සැරේ


"පප්පා................ චාලී........................ඉස්සා................ ටැංගෝ"


කියනව. තව එක සේවයක් දවස පුරාම


"කීකීක් කීක් කීක් කීකීක් කීක් කීකීක් කීකීක් කීක්"


කියනව. ඒව පිටසක්වල රේඩියෝ සේවා කියල මට හිතෙනව. මේ ඔක්කොම ගෙදර කවුරුවත් නැති දවස්වල දවල්ට විතරයි. අනික් වෙලාවට මගෙ ඇන්ටනාව අටුවෙ හංගල තියෙන්නෙ මගෙ පර්යේසන ගැන දැනගත්තොත් තාත්තා මගෙ "ඇස් දෙකේ ඉඳං පට්ට ගහන" හිංදයි.


ඔය විදිහට මගෙ පර්යේසන වලිං "සමස්ත ඉංදීය ගුවංවිදුලිය" කියල එකක් හොයාගන්න මට පුළුවං වෙනව. දවාලක ඒ සේවෙ අහපු වෙලාවක ආපහු සේවෙ වෙනස් කරන්න බැරිවෙලා රෑට අපේ තාත්තා රේඩිවේක දාපු ගමං සමස්ත ඉංදීය ගුවන්විදුලිය සිංහලෙං ප්‍රවුත්ති කියන්න පටං ගන්නව. එදා ඉඳං හැමදාම අපේ තාත්තා රෑට ප්‍රවුත්ති අහන්නෙ ඒකෙං. සමහර දවස්වල හවසට කඩේ ගාව කයිවාරු ගහන අය


"මන්නං පවුත්ති අහන්නෙ වෙරිටාස්සෙකෙං. ඒකෙං කියනව හරියටම ඇත්ත විස්තරේ"


කියද්දි අපේ තාත්තා ඒ පම්පෝරියට දමා ගහන්නෙ සමස්ත ඉන්දීය ගුවංවිදුලියෙං.


"එයිට වඩා ඇත්ත කියනව හැබැයි අර සමස්ත ඉංදියා ගුවංවිදිලියෙං. හරියට හතකුග් ගාන්ට පටං ගන්නෙ. බලාහිටිය වගේ කියනොව. හොඳට අඬ තියෙන සේවෙයක්. මීටරේ මැද හරියකට අහුවෙන්නෙත්."


ඔය අතරෙ තමයි "ශ්‍රී ලංකා බුවංවිදුලිස් සංස්තාවේ වෙළඳස් සේවයයි" කියන සේවෙ තමුංගෙ පැටි පැටවු රෑනත් එක්ක FM පැත්තට පනින්නෙ. FM නැති අපේ රේඩියෝ වලට ඒ පැනිල්ල නොදැනුනාට ඒ පැනිල්ලත් එක්ක ජීවිතේට අහපු නැති අලුත් සිංදු රේඩිවේකෙං ඇහෙන්න ගන්නව. කැසට් තියෙන ගෙවල්වල අය නං


"දැන්නං වෙළඳ සේවෙ පැහැදිලියි කියන්නෙ මේ ළඟ ඉඳං කතා කොන්නොව වගේ"


 කියල කියනව. ඒව අහං ඉන්න අපේ ගමේ අනික් අයත් පුළුවං හැටියෙං තමුන්ටම කියල කැසට්ටෙකක් ගන්නව. ගෙදර තියෙන පරණ රේඩියෙක අල්මාරියට දානව. නැත්තං අටුවට විසික් කරනව. ඒ රැල්ලට අහුවෙන අපේ නැංදත් මාසෙයක් දළු කඩාපු සල්ලි එක්කහු කරල ඉතුරු ටික මාසෙයක් ගානෙ ගෙවන පොරොන්දුව පිට තනි පිකරේ කැසට්ටෙකක් ගේනව.



අලුත් කැසට්ටෙක ගෙදර ගේන ගමං අපේ මිදුලෙං පාතට බහින නැංදා ගල්වැටිය උඩ නතරවෙලා කැසට්ටෙකේ පෙට්ටියෙ පිටිං ඇඳපු රූපෙ විතරක් අපිට පෙන්නනව.


"මේං මේ ජාතියෙ සූපේ තියෙන ජාතියෙ එකක් ගෙනාවෙ."


"ඕක එලියට ඇරං පෙන්නන්නකො නැංදෙ අපිටත්"


නංගියි මායි කියනව.


" බෑ බෑ බෑ බෑ. මෙතෙන්නං එළියට ගන්න බෑ. ගෙදර ගිහිං තමා එලියට ගන්නෙ. ඕන්නං තව ටිහිකිං එන්න බලන්න ඕන්නැං."


එයිං පැය බාගෙකට විතර පස්සෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙං මහා හයියෙං ඇහෙන මහ පිරිත අපේ කං අස්සට රිංගනව. මං නැංදලගෙ ගෙවල් පැත්තට අඩිය උස්සනකොටම අපෙ අම්මා මට බයිනව.


"තෝ යන්නෙපා උංගෙ ලොක්කං බලන්න. ගියොත් අඬු කඩ්නොව දැනගං."


අම්ම ඉලපත අතට ගනිද්දි මං නවතිනව. රෑ වෙලා ගෙදර එන තාත්තත්


"මොකද්ද අර මැණිකලෑ ගෙවල් දිහාවෙං මහ හයියෙං එකාකාරෝම බලියනව ඇහෙන්නෙ ඕයි"


කියල අම්මගෙං අහනව. ඒ නැංදලෑ ගෙදෙට්ට ගෙනාපු අලුත් කැසට්ටෙක බවත්, ඒක හැංදෑවෙ ඉඳංම ඔය විදිහට බලියන බවත් අපේ මිදුලෙදි ඒක දිගෑරල පෙන්නුවෙ නැති බවත් ඕන්නැං බලන්න එහෙට එන්න කියපු බවත් මං කියනව. මට උංගෙ ලොකුකං බලන්න යන්න නොදීපු බව අම්ම කියනව. ඒ සේරම අහගෙන ඉන්න තාත්තා ඒ ගැන අනාවැකියක් කියනව.


"ඔය කොයික ගෙනාවත් වැඩහ්නෑ. පීසේන මල්ලි ඕකටත් වැඩිකල් නොගිහිං මකබාස් වැඩේ කොරයි."


එදා ඉඳං හැමදාම මහ පාන්දර දෙකට තුනට නැන්දලගෙ ගෙදර කැසට්ටෙක මහ සද්දෙට පිරිත් කියද්දි අපිව උඩ විසිවෙලා ඇහැරෙනව. බිංදුවා ටකරමත් පෙරලගෙන පෝර කවරෙත් පටලවගෙන මිදුලට පනිනව. ඒ සද්දෙට කලබල වෙලා වත්තෙ කුකුලොත් ඇහැරිලා නිදිමතේ අඬලනව. රේඩිවේකෙ උදෑසන දම්ම චිංතාව කියන  සද්දෙට අපේ ගෙදර කුස්සියෙ වලං මුට්ටිත් හෙල්ලෙනව. පාන්දර දේශාභිමානී ගීත ඇහෙද්දි අපේ තාත්තා එඩිතරව නැගී හිටිනව.


"අම්ප මේකි මේ කෙහෙම්මලක් ගෙනැත් බලියෝන හැටි. කිසියම්ම කිසි මිනිහෙට්ට නිංගක් ඇහැ පියවන්න නෑනෙව."


උදේට ඉර පායලා, පාංකාරයත් ඇවිල්ලා, ළමයි ඉස්කෝලෙත් ගිහිල්ලා, අනික් ගෙවල්වල අයත් වැඩට යද්දි නැංදයි, මාමයි දෙන්නත් වැඩට යනකොට කැසට්ටෙකත් කට වහගෙන තමුංගෙ දෑවැද්දට හම්බුවෙච්ච පෙට්ටිය ඇතුළට රිංගල නිදාගන්නව. ආයිමත් හවසට ඒ දෙන්නා ගෙදර ආපු ගමං කැසට්ටෙක එලියට ඇවිල්ලා ගමටම සිංදු අස්සවන්න පටං ගන්නව. ඒ සද්දෙට මූන දෙන්න බැරුව අනික් ගෙවල්වල රේඩියෝ සේරම කට පියාගෙන ඉන්නව. අපි නිදාගනිද්දිත් රෑ නමේ ප්‍රවුත්ති ප්‍රකාශය නැන්දලගෙ ගෙදර ඉඳං කන්ද නැගගෙන ඇහිල්ලා අපේ ගෙදර දොරෙං රිංගලා අපේ කං වලට අනිනව.


මේ විදිහට ගමටම රේඩියෝ අස්සවන එකේ ආනිසංස හැටියට නැන්දගෙ නමට තියෙන කඩේ ණය පොතේ දවස් තුන හතරකට සැරයක් බැට්ටි කෑලි හතර ගානෙ ලියවෙනව.





බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.

Thursday, April 13, 2017

අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games


"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්‍රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ නාලිකාව සහ දැම්මොත් ගනු බැරි බැංකුව එක්ව ඔබගේ ඉස්තෝප්පුවේ පාපිස්ස උඩට ගෙන එන හෙළයේ මහා අසිරිමත් මංගල්ලය ඉර මගුල මහා දැවැන්ත සංස්කෘතික චිත්තාකර්ශනයයි මේ.  අපේ එදා තිබූ සුහැදියාව, සුනම්‍යත්වය, ඒ මහා ජවාස්කන්ධය රටට ගමට කියාපෑ අපේ ඉපැරණි මහා ග්‍රාමීය සංස්කෘතික පෙළහැරේ ශක්තිය, තේජාන්විත බව, උත්කෘෂ්ඨත්වය, මෙව්වෑක පිළිඹිබු කළ අපේ හෙළ ජන ක්‍රීඩා ගැනයි අපි මේ කොලබොක්කාව වැව්තාවුලේ තේජාන්විත වනස්පතියක් මූලයේ මස්තක ප්‍රාප්තවී විශ්ලේෂණය කොට ඔබ හමුවේ පරිශිෂ්ඨ කිරීමට බලාපොරොත්තු වන්නේ.......



අදත් ඒ සඳහා අප සමග ඒ සඳහා පිළිවෙතින් සුසැදිව පේවී සංගෘහිතව සිටින්නේ තුම්මුල්ල සරසවියේ ජේස්ට කටකතාචාර්ය අත්තනඇට පොරෝ මහතා, ඔබතුමා පිළිගන්නවා මේ සභාවට ගවුරවයෙන්, ඒ වගේම මහාචාර්ය ජිරාප් මුට්ටියප්පෙරුම මහතාත් සාදරයෙන් පිළිගන්නවා මේ විද්වත් කතිකාවතට, ඒ වගේම නාට්‍ය හා රංගකලා මහාචාර්ය අසුවල් වංසේ නාසාදික මහතා සහ ඒ වගේම විශාරද කලාවේදිනී අසුවල් මහත්මියත් මේ සභාවට මහත් බෞමානයෙන් යුක්තව පිළිගන්නවා.



මා පළමුවෙන්ම යොමුවන්නට කැමතියි අපේ නාසාදික මහතා තුමා වෙත, ඔබතුමා මේ සම්බන්ධයෙන් ප්‍රවිශ්ඨයක් ලබාගන්නැයි මා ඉල්ලා සිටිනවා."


"හොඳයි හට්ටි, මං පැරණි ජන ගියකිං මෙයට පිවිසෙන්නම්."


"තක්ක..... තකිඳ..... දික තක දිග ............
දිගත තකිද තක තා..... තා....ආාාආාාාා...........

සිප්පි හයක.......... දෑතට අ...ර.......... ගෙන සොලවා.....ආාාා........
එක්කොම ටික.......... බිමට දමපු කළ සොඳවා..........ආාාාා........
හයම උඩට .............. කට ඇරගෙන........ සිට ලෙසටා....ආාාාා......
බොක්ක දමපුඌ...... ලෙස කියුවයි......... පිරිස ඥෙදා.....ආාාාා......"


ජිං තකබුං තක බුං තක තක තක බුං බුංබුං තකතකතංබුං තකං දොහ්"


"හට්ටීඊඊ. මං ඒ ගායනා කලේ අපේ පංච කෙලිය ගැන..... එහි මූලාරම්භය ගැන...... කියවෙන පල්ලම් පත්තුවේ ගැමියන් අතර වියවහාර වන ජන ගීයක්. එහි සඳහන් වෙන්නේ පංච කෙලින පිරිස අතරින් යමෙක් මේ පන්ච බෙල්ලන් හය දෙනා අතට ගෙන වැරෙන් සොලවා... මෙන්න මෙතන මේ පංච බෙල්ලන් සෙලවීම..... ගැන..."



"හට්ටී.... මට සමාවෙන්ඩෝන............ මේ නාසාදික මහත්මා................ මේ කියන රත්තරං වටින කතාවට මට......... යමක් එක්කාසු ගරන්ඩ ඉඩ දෙන්ඩ............ ඔබතුමා... සඳහන් කලා.... බෙල්ලන් වැරෙන් සොලවන්ඩ ඕනැ කියා..... නඹුත්.... අද බලන්ඩ අබේ ඛොල්ලො ඛෙල්ලො ඛාටවද් බෑ අඩුහ්ම ගානෙ පංච බෙල්ලො ටිකවත් හරියාකාරව හොල්ලගන්ට..... අපේ එක ඛෙල්ලෙක් ඉන්නවද හරියට මේ බෙල්ලෙක් හොල්ලාගන්න..... මේ ... පංචා බෙල්ලෙක් හොල්ලා ගන්න පුළුවං... නෑ.... අද බෑ...... ඒ හංදා අපි ගේන්ඩෝන අබේ මැල්ලුං මුට්ටිය ආපහු.... පර සුද්දා එදා අපෙං අරංගිය ඒ.... මැල්ලුං.... මුට්ටිය ආපහු ගෙනත් කවන්ඩෝන මේ ඛොල්ලන්ට ඛෙල්ලන්ට.... මොකකටවත් නෙවෙයි..... අඩුම ගානෙ......අඩ්ඩුම ගානෙ පංච බෙල්ලො ටිකවත් හොල්ලන්ඩ තරං හයියක් මේ මාත්තුරු භූඹියෙ තියෙන්ඩ අපි එතෙන්ටයි හට්ටී යන්ඩෝන..... ආං එදාටයි අපේ පංච දැමීම, පොර පොල් ගැහීම,   අං ඇඳීම, ගුඩු පැනීම, පීරිසි කුට්ටං ඇල්ලීම වගේ ජන ක්‍රීඩා..... නැගී හිටින්නෙ...."



මේං මේ ආකාරයේ කතාවක් අනිවාරයෙන්ම අවුරුදු දාට ඔබේ ගෙදර රූපවාහිනියෙං බලන්නට පුළුවනි. හැබැයි ඒ කියන ජන ක්‍රීඩා බලන්නට ඔබේ හය හතර නොදත් දරුවාට ඕනෑ උනොත් එව්වා ජන කලා කටුගෙයිවත් නැති බවත් කියා දෙන්නට ඕනෑය.


ඇන්කර් පෙට්ටියක අලෝපු තැනිං ගලවලා දිගෑරලා, වටේට තියෙන හතරැස් කොටු, දිග කොටු කෑලි ටික කපලා දාලා ඇරගෙන ඒකෙ ඇතුල් පැත්තේ කන කොකාගෙ පාට උඩිං පැටිග්ගම් එහෙකිං ඇඳපු පංචි කොලයක් අපේ මාමා හදල තිවුනා. ඒක නැත්තං මාමා ඉස්කෝලෙං ගෙනා රටහුණු කැටේකිං බිම සිමැන්තියෙ උනත් පංචියක් ඇඳගන්න පුංචම්මට පුළුවං. ලොකු පුංචම්මලගෙ පවුල් දෙකේ උදවිය ආපු දවසට සිංදු කියනවට අමතරව පංචි දැමිල්ලත් කෙරෙනවා. එදාට ආච්චම්මගෙ කබඩ්ඩෙකේ තියෙන පංචි බෙල්ලො ටික තමුංව ඔතල තියෙන හඩු ලේන්සුවෙං මිදිලා හුස්ම ගන්නවා. කට්ටිය අඩු දවසක නං මටත් පංචි දාන්න හම්බු වෙනවා. නැත්තං අනික් අය සාලෙ බිම ඉඳගෙන පංචි දාන අතරෙ සාලෙ අයිනෙ තියෙන වි ගෝනියක් උඩට වෙලා ඒ දිහා බලා ඉන්නත් මට පුළුවං. හැමදාම අයියයි අක්කයි දෙපිලට බෙදිලා අන්තිමට දිනපු පැත්ත පැරදුනු පැත්තට නින්ද යනකම්ම හූ කියන මේ සෙල්ලම කෙරෙන්නෙ පවුලෙ කට්ටිය එක්කහු වෙච්ච දවසක විතරයි.

ඒ වුනාට අවුරුදු සෙල්ලං කියන්නෙ එ්ව නෙවෙයි.


“මේ ගමන සෙල්ලං කර්න්නැද්ද මැණිකෙයක්කෙ?“

පළවෙනි රතිඤ්ඤෙ පත්තු වෙන්නත් කලිං, පාංකාරයට කේක් ඕඩරේ දෙන්නත් කලිං, කොටිම්ම කොහා අවුරුද්දට කෑ ගහන්න “ක“ යනු “හ“යනු පාපිලි ටික හොයාගන්නත් කලිං අපේ ගමේ අය පුංචම්මගෙ කඩේට ඇහිල්ල අහන්නෙ ඒක. 


“ආයි නං කවම කවරදාකවත් කරන්නෑ කියල ගියපාරම කිව්වෙ ඒකනෙ. මෙතන රණ්ඩු බේරන්න බෑනෙ අපට“


“ඒකට බීපු එවුන්ට එන්න නොදි හිටියං ඉවරයි. ඒක අප්බලාගන්නං. මේ ගමනත් සෙල්ලං කරමු“


ඔය විදිහට දහ අතේ පොරොන්දු දුන්නට පස්සෙ මහගෙදර සෙල්ලං කෙරුවාවට ඉඩ හැදෙනව.
ඒ අතරින් ඉස්කෝලෙ යන පොඩි ළමයි, ගෑණු ළමයි වගේ අයට සෙල්ලං කරන්න හැදෙන්නෙ අඹ ගහ යට. අවුරුද්දට කලිම්ම පටං ගන්න මේ සෙල්ලම් කෙරුවාව නොනගතේට නැවතිලා ආයිමත් හුස්මක් අල්ලලා පටං ගන්නෙ නැකතට කෑවයිං පස්සෙයි. ලැල්ලකට ගලකිං ගැහුව වගේ ඇහෙන “ටක්“ ගාන සද්දෙට කාසි පුරෝපු සාක්කුවක් තියෙන ඕනිම ක්‍රීඩාශීලී ළමයෙක් ඇදිල යනව.


“මේ පහාඩුයි.... මේ පහාඩුයි....“


ආ වැඩියි“

“මේ පහත් වැඩියි“


“මේ දහයම අඩුයි... මේ දහයම අඩුයි“

රුපියල් දෙකේ, පහේ කාසි ජෝඩු දාල බිමට වැටෙනව

“කැටේ හොල්ලල ගහන්නෝනෙ. හරෝල ගහන්න බෑ.... හරිද?“


“ටක්“


“මට කැටේ... මට කැටේ.... අල්ලන්නෙපා“


වැඩි වෙලාවක් නොගිහිං එතන ගාලගෝට්ටියක් වෙද්දි අපේ ආච්චම්මයි, පුංචියි කෑ ගහනව.


“ළමයි කෑගහන්නෙපා..... පොලිස්සියෙං පනියි කෝලහලෙ මොකද බලන්න“


ඔය අතරෙ සමහර "අලුකුත්තේරු එවුං" එකෙක් කැටේ ගහද්දිම කැට ලැල්ලට 'චීන පටස්' ගුලි වලිං ගහනව.  කැටපොලේ ඉන්න අය පණ කඩාගෙන දුවනව.


රුපියල් පහක් අරං එන ගල්කොටුවෙ ආනන්දය රුපියල් පනහ හැට අරගෙන ආපහු යද්දි නාවලවත්තෙ ළමයි අවුරුද්දට වැඳල හම්බුකරගත්තු රුපියල් දහය පහලොවත් නැතුව ගෙදර යනව.


අහල පහල වැඩිහිටි ක්‍රීඩකයො පාර දිගේ යද්දි මේ වගේ කැට පොලක් දැක්ක ගමං නවතිනව. බයිසිකලේ පැටල්ලෙක බිමට හිටින්න හේත්තු කරල හරි එහෙමත් නැත්තං බිත්තියකට හේත්තු කරල හරි කැට පොල ගාවට කිට්ටු කරල එතන ඉන්න කෙනෙක්ගෙං 


"මේ.... මෙතන සෙල්ලං කරනෑය කොහෙද ඉන්නෙ ළමෙයො?"


කියල අහනව.


"අර එහා පැත්තෙ අයිනෙ මඩුවෙ"

පොඩි එවුං උත්තර දෙනව. පාර අයිනෙ කැට පොලක් තියෙනව කියන්නෙ ඒ පිටිපස්සෙම තැනක කුට්ටමේ සෙල්ලං කෙරෙන තැනකුත් කෙරෙනව කියන එකයි. ඒ විත්තිය දන්න අය දන්නව. ඔය විදිහට අපේ පුංචම්මලෑ මහගෙදර පිටිපස්සෙ තියෙන මාමගෙ කාමරේ එක 'සෙල්ලං කරන තැනක්' බවට පත්වෙනව. කලු මාමගෙ කඩේ ඉස්සරහ කැට පොල තියෙනව කියන්නෙ එයිට පිටිපස්සෙ කෝපි ගාලෙ 'සෙල්ලං කරන' තැනක් තියෙනව කියන එකයි. ඒ විදිහට ගම පුරාම පාරක් ගානෙ අඩු නැතුව සෙල්ලං කරන තැං තියෙනව.


ඒ තැංවල හුඟක් වෙලාවට ඉන්නෙ පිරිමි අය විතරයි. ඔට්ටු ඇල්ලිල්ලත් කැට ගැහිල්ලට වඩා ගානිං වැඩියි.

"මේ සීයප්පරදි"


"මේ දෙසියප් පරදි"


"ආ මේ දෙසිය දිනුං"


කුට්ටම අනල දුන්නම, ඒක කපන කෙනා කොලේ කියනව. කුට්ටම අනපු කෙනාම කොලෙං කොලේ දෙපැත්තට බෙදාගෙන බෙදාගෙන යනව. හැමෝම සද්ද නැතුව බලං ඉන්නව. හරි කොලේ වැටිච්ච ගමං උම්බලකඩ කෑල්ලක් දැක්ක බලල්ලු ටික වගේ හැමෝම පොරකනව.


"ඒක මගේ ඒක මගෙ"


"නෑ නෑ මං දිනුං ඇල්ලුවෙ"


සුදුවැලිපොත ආතර් කඩේ ගාව වගේ සමහර තැංවල ඔට්ටු අල්ලන්න පුළුවං රුපියල් පන්සීයෙං එහා ගණං විතරයි. ඒ රස්නෙ කඩේ ඉස්සරහ තියෙන කැට පොලටත් දැනෙන හිංදා එතනත් කාසි ඔට්ටු අල්ලන්න බෑ. අඩුම ඔට්ටුව දහය. ඒ වගේ තැංවලට එන සමහර ක්‍රීඩකයො මුළු සෙල්ලම් පොලේම තියෙන සල්ලි ටික තමුංගෙ ඔඩොක්කුවට ගන්නෙ පැය බාගෙං. එතන ඉන්න හැමෝම හින්දපු ගමං සල්ලි ටිකත් ඔඩොක්කුවට දාගෙන තව සෙල්ලම් පොලකට යනව. ඒ විදිහට දිනපු ලස්මගෙ අයියා ඒ සල්ලි වලිං අලුත්ම අලුත් ලොරියක් ගෙනැත් අවුරුද්දෙං පස්සෙ දළු එක්කහු කලා. හැබැයි ඊළඟ අවුරුද්ද වෙද්දි එයා ලොරියත් නැතුව පුස්සයිකලේටම වැටුනා.


හැම අවුරුද්දෙම අඬන පුංචම්මත් අනික් පුංචම්මත් තුමංගෙ දරු පවුල් පිරිවරාගෙන මහගෙදරට එන දවසට රෑට පවුලෙ අයයි, විස්වාසවන්තම කීප දෙනෙකුයි එක්කහු කරගෙන වෙනම සෙල්ලං පිටියක් තියනව. එදාට මාත් අපේ අම්මත් ඇර අනික් හැමෝම කොල කුට්ටමේ සෙල්ලමට යනව. අයියයි, අක්කයි, පුංචම්මයි, බාප්පගෙං සල්ලි ඉල්ලගෙන ඔට්ටු අල්ලනව. අපේ ආතත් රුපියල් සීයක් ගෙනත් ඔට්ටු අල්ලනව. ඒක පැරදුනහම කාමරේට ගිහිං ලාච්චුව ඇරල, ටින්නෙක ඇරල, පෝස්සෙක ඇරල තව රුපියල් සීයක් අරං එනව. ඒකත් පැරදුනහම ආයිත් ගිහිං ඒ විදිහටම සීයක් අරං එනව. අපේ තාත්තා රුපියල් දාහක් විතර පැරදුනහම කාඩ් කුට්ටම පොලවෙ ගහල නැගිටිනව. අඬන පුංචම්මයි, අයියයි, අක්කයි පැරදුනහම බාප්පව බදාගෙන අඬනව.


"අනී ජෝගේයපි ඔයා ජුක් මාංචියෙං ඔයච චල්ලි චික පලාද කෙලුවාආාා"


"අනී තාත්තී..... අපි ඔයාගෙ සල්ලි නහත්ති කෙලුවා...."


මං කඩදාසි කුට්ටමේ තියෙන නැට්ටුව ඉන්න කොළ දෙක අරගන්නව. ඊට පස්සෙ පැදුරු දෙක අකුලල තියනව.


 සූදුවට යන්න හොඳ නැති බවත් ඒ හංදා පවුසිද්ද වෙන බවත් පන්සලේ හාමුදුරුවො බණට කියනව. ඒ හංදා උපාසක උපාසිකාවො කවුරුවත් කැට පොලකට, බූරු පොලකට යන්නෙ නෑ. ඒ අය වෙනුවෙං පන්සලට හැරෙන තැන ගෙදර ඉන්න රඹුටං ආතා ගෙදර ඉස්තෝප්පුවෙ වෙනම සෙල්ලමක් පටං ගන්නව. මුලිම්ම සල්ලයිට් කැට දෙකක් හැමෝටම පේන්න පැදුරෙං තියනව. ඉං පස්සෙ


"ආ... හැවෝම පහ ගානෙ දාන්න"


ඉතිං මිනිස්සු රුපියල් පහ ගානෙ පැදුරට දානව. ඊට පස්සෙ රඹුටං ආතා සුරුණ්ඩු කරපු කඩදහි කෑලි ටිකක් හොලෝල පැදුරට දානව. සල්ලි දාපු අය ඒ ටික පොරකාල ගන්නව. එතනිං අංක එක, නැත්තං ලොකුම අංකෙ තියෙන තුණ්ඩුව ලැබිච්ච එක්කෙනා සබං කෑලි දෙක දිනනව. රඹුටං ආතා පහේ කාසි ටික එක්කහු කරගන්නව. රුපියල් විස්සක් විසිපහක් වටින සබං කැට දෙක දීලා රඹුටං ආතා රුපියල් පනහක් විතර එක්කහු කරගන්නව. ඒ විදිහට සබං කැට, පවුඩර පෙට්ටි, සබං පෙට්ටි, කතුරු, වීදුරු, පිඟං, ඉටි මැටිකෝප්ප, ඉටි බේසං, කම්බි ලේන්සු, ඇලමේනියං මුට්ටි, තාච්චි, පිත්තල හැඳි, කොකිස්සච්චු, සල්ලි දාන ඉටි කැට, විතරක් නෙමෙයි සෙනග ඉන්නවනං කලිං අවුරුද්දෙ තෑගි හම්බුවෙලා අඳින්නැතිව තියාගත්තු සරොං, චීත්ත, ගෙදෙට්ට එන අය ගෙනාපු කේක්, විස්කෝතු එහෙමත් නොම්බර ඇදිල්ලට තියනව.


මෙතන බූරු කුට්ටමක්වත් කැටයක්වත් නැති හංදා ඒක සූදුවක් නෙමෙයි. ඒ හංදා පන්සල් ගිහිං ආපහු යන හුඟක් අය රඹුටං ආතගෙ 'නොම්මර අදින' තැනට ගිහිං, පන්සලේ පඬුරු දාල ඉතුරු වෙච්ච මාරු කාසි ටිකත් ඉවර කරල යනව.


මේ විදිහට ක්‍රීඩාවෙ යෙදෙන ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අල්ලන එක අවුරුදු කාලෙට පොලිසියෙං කරන සෙල්ලමක්. ඒ ගොල්ලොත් එන්නෙ සරං කමිස ඇඳගෙන. කැට පොලක් ළඟ ලොකු අය පදින පුබ්බයිසිකල් හත අටක් නවත්තල තිවුනොත් එතන 'බූරු පොලක්' බව පොලිසිය දන්නව. ඒ වෙලාවට කැට පොලේ ඉන්න ළමයෙක්ගෙං පාර අහගෙන බූරු පොලට පනින සෙල්ලමට පොලිසියෙ අය දස්සයි. ඒ හංදා කැට පොලක, බූරු පොලක එහෙම 

"ඔන්න පොලොස්"


කිව්වත් තප්පරෙන් දහයෙං පංගුවකදි බූරු පිටියෙ ඉතුරු වෙන්නෙ පැදුරු දෙකයි, නැට්ටුව ඉන්න කොල දෙකයි විතරයි. කලාතුරකිං හොඳටම බීපු දුවාගන්න බැරි කෙනෙක් ඇරෙන්න පොලිසිය පැන්නත් අහුවෙන දෙයක් නෑ. ඒ වගේ අයත් පොලිසියට ගෙනිහිං පහුවදාට ගෙදර එවනව. 


ඔය විදිහටම අවුරුදු දවසක රඹුටං ආතගෙ ගෙදර මිදුලේ 'නොම්මර ඇදිල්ල' කෙරීගෙන යද්දි පොලිස් ජීප්පෙක ගේ ගාව පාර අයිනෙ නැවැත්තුවා. තලත්තෑනි ගෑණු අය, පිරිමි අය වටවෙලා ඉන්න හිංදා පොලිසියෙ රාලහාමි කෙනෙක් පාරෙ ඉඳං 


"ඔතන ඔය සූදුවක් නේද?"


කියල ඇහුවා. රඹුටං ආතා අත්දෙක පිටිපස්සෙ පිහිදන ගමං නැගිට්ටා.


"නෑ රාලාමි අපි මේ නොම්බර අදිනව."


පොලිසියෙං රඹුටං ආතවයි, පැදුරු දෙකයි, සබං කැට, පවුඩර් බෙලෙක්ක, කතුරු, සැමන් ටිං, කම්බි ලේන්සු, සබං පෙට්ටි, ඉස්කෝතු පැකැට්, වීදුරු පිඟං බඩු, ආදී නොම්මර අදින තෑගි ටිකයි පටවගෙන ගියා. එතන හිටපු මිනිස්සුංවත් එලෝල දැම්මා.


අවුරුද්ද ඉවරවෙලා, අලුත් ඇඳුංවල බුලත් කහට ගැවිලා, අතේ සතේටම හිඳිලා, අන්තිම අවුරුදු උස්සවෙත් ඉවර වෙලා, කොහාගෙත් කට රිදුනට පස්සෙ මිනිස්සු තමුං කරපු සෙල්ලං ගැන කියනව.


"අපේ එකා දොලොද්දහක් පැරදිල."


"විමලෙය අල්මාරියෙ තිවිච්ච දහදාහමත් පැරදිල ගෑණිගෙ චේන්නෙකත් තුන්දහකට උකස් තිවුවලු. ඒකත් පැරදි කියන්නෙ"


"අර එගොඩහ එකෙක්ගෙ බයිසිකලේනෙ ඔය ඉස්ටුවංගෙ ළමෙයට රුපියල් දහදාහකට තියල තියෙන්නෙ. බූරු පොලෙදිම"


"රාජ නං බරගානක් දිනුංලු. මොකක් හරි ගෙනෙයි හෙටානිද්ද"



"ආතර් කඩේ ගාව නං ගුටි කෙලියක් ගිහිං කොටියෑ දද්දෙකක් කල්ලලු කුමාරෙය"


ගුනොවද්දන මාමත් ඉස්තෝප්පුවට ගොඩවෙන්නෙ ඒ වගේ කතාවක් කියාගෙනමයි.


"අර බලිපොලේ පිහියැනුමක් ගිහිං දෙන්නෙක් මහ ඉස්සිතාලෙ කියල අපෙ දූ කිව්වෙ"


"හැබෑට ගුනොවද්දන"


අපෙ ආතත් අහනව.


"ඒකනෙ මාමෙ මං ඔය කිසියම්ම සූදුවකට යන්නැත්තෙ. පිහැයැනුං කන්න ඕන්නෑනෙ නිකං. අනික සූදුව හොඳ එකක් නෙමෙයිනෙ. අපරාදෙ පවුසිද්ද කොරගන්න බෑ, මං නං පංසල් ගිහිං එනගමං හිතුනොහ් නොම්බර ඇදිල්ලට ඉතරක් යනව. මොකක්කත් වදෙයක් නෑ. පිනේ පවේ හැටියට හම්බුවෙනව.  මට නං මේ ගමනත් පීරිසි කුට්ටං හයක් ඇදුන. ආං කබඩ්ඩෙකේ තිවුව එහෙම්මොම"


ආත කරබාගෙන විටකට පුවක් ගෙඩියක් ලියනව.